2015-07-04

මෙතෙ බුදුන් පහල විය!!! සාදු කියපියව් ඩො...


දුක , දුකට හේතුව , දුක නැති කිරීම , දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් ගෞතම බුදුන් ගෙන් පසුව මෛත්‍රී බුදුන් ගේ ආගමනය හැම බෞද්ධයෙක්ගේම ප්‍රාර්ථනාව ය. ගෞතම බුදුන් ගේ පිළිම හදනවා වගේම මෛත්‍රී බුදුන් ගේ පිළිමත් මේ විභීෂණ ඉඳ හිට තැන් තැන් වල දැක ඇත. නිවන් දකින්න  මධ්‍යම ප්‍රතිපදාව ගෞතම බුදුන් ඉගැන්නුවා වගේ ම දෙයක් මෛත්‍රී බුදු හාමුදුරුවොත් අනාගතේ උගන්නනු ඇත.



බුද්ධාගමේ මෛත්‍රී බුදුන්ගේ පහළවීම වෙන්නේ කොයි කාලේද කියල අපි දන්නේ නැති වුනත් මේ ඉල්ලන්කාවේ දේශපාලනේ ඇතුලේ නම් මෛත්‍රී බුදු කෙනෙක් පහල වී ඇති බව දැන් දැන් පෙන ලකුණු වලින් බොහොම පැහැදිලි වෙන කාරණයක් ය. ඒ බුදුන් වෙන කවුරුවත් නොව අපේ ඔනරබල් මෛත්‍රීපාල සිරිසේන වීම පට්ටම ආතල් ෆීලින්ග් එකය.

එක එච්චරටම ආතල් වෙන්නේ උන්නැහේ හොඳින් වගේම නරකින් , කෙක්කෙන් වගේම කොක්කෙනුත් මේ රටේ බයි පරපුර ට මෙන්ම ටොයි පරපුරටත් දේශපාලනය ඇතුලේ නිවන් දකින හැටි කියා දෙන්න පටන් අරන් තියෙන හින්දය.

උන්නැහේ නිවනට මග කියාදෙන්න පටන් ගත්තේ පහුගිය නොවැම්බර් 21 වෙනිදා හස්ත කර්මාන්තය අතැරලා දාල හස්ති  සහ සහෝදරයින්ගේ කර්මාන්තය එක්ක එක්කාසු වෙලා බයි පරපුර තුෂ්නිම්භූත කරවා නනනත්තාර කරවා හොම්බ සමග  පශ්චාත් භාග දෙකත් බිම අනනවා ය. ඒ ඓතිහාසික PROJECT එක දැකල ඇස නිලංකාර වෙච්ච බයි පරපුර ට මෛත්‍රී ව ද්‍රෝහියෙක් , කන පතේ පහරපු  හිවලෙක් , කන්න දීපු අත  හපාකාපු බල්ලෙක් විය . ඒ මෛත්‍රී ම ටොයි පරපුරට ජාතික වීරයෙක්, රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙච්ච නූතන දියසේන කෙනෙක් විය. කොහොම හරි මේ මනුස්සයා ඒ වෙනකන් රට යට කරන් හිටපු වනචර එකාධිපතියාව ගෙදර යවන්න සමර්ථ වෙලා ඉල්ලන්කාවේ ජනාධිපති පුටුව අල්ල ගත්තේය.

නිවන් මග ක්ලාස් එකේ මුල් හරිය ඒ විදියට බයියන්ට  කියාදීලා  සති දෙක යන්න පෙර තමන්ව හිවලෙක් බල්ලෙක් ද්‍රෝහියෙක් කියාපු එවුන්ගේ ඒ සක්කිලි ගුබ්බෑයමේ ම සභාපති කම අල්ලාගෙන එකාධිපතියා ගාව ඉතුරුවෙලා තිබ්බ සකලාමනවමත් අයිති කර ගත්තේ ය. සක්කිලි ගුබ්බයම අල්ලගන්න කොට ම සිරිසේන උන්නැහේ ඊලග නිවන් මග ටොයි පරපුරට උගන්නන්න යන බව හැමෝටම වගේ ලාවට ලාවට මීටර් වේගෙන ආවේය.

ටොයි පරපුරේ ඒ නිවන්මග පන්තිය ගැන ලාවට පත්තු වෙලා තිබ්බ කොළ ලයිට් එක තව ටිකක් තද පාටකට හැරුනේ තමුන්ව සෙත්තපෝච්චි කරන්ට කියල හිටං හිටපු ගුබ්බැයාමේ සක්කිලි සැට් එකක් තමුන්ගේම කැබිනට් අල්මාරියේ ඔනර්බල් මිනිස්ටර් ලා බවට පත් කලාට පස්සෙය.

වනචර එකාධිපතියාගේ අස්ථි ගෝල දෙක රහ කර කර සූප්පු කරපු කුඩු දී මුත්තායි, බඩු වික්‍රමයයි තමුන්ගේ ඇඩ්වයිසර් ලා විදියට පත් කරගන්න කොට ම ටොයි නිවන් පාඩම බොහොම හොඳින් තේරුම් ගන්න සමහරුන්ට පුළුවන් විය. ඒ මොකද කියනවා නම් උන් දෙන්නා දන්නේ කුඩු ගේන්නයි බඩු ගහන්නයි විතරක්ම හින්දා ත් කොයි වෙලෙත් "මරා සරනං ගච්චාමී " මතුරන හින්දාත් එහෙවු දෙන්නෙක් ගෙන් එව්වා ඇරෙන්න වෙන කිසිම ජාතියක දෙයක් ඇඩ්වයිස් කියල ගන්න නැති නිසාත් ය.

දැන් ක්ලාස් එකේ අමාරුම පාඩම උගන්නන වෙලාව ය. ටොයියන්න්ට මේ පාඩම් අල්ලගන්න එක පට්ට අමාරුය. එත් ඉතින් හරියට අල්ලගත්තොත් ආයේ ලොවෙත් අමතක වෙන්නේ නැත. පොර ටෝක් දී ගෙදර යවපු වනචර එකාධිපතියාට ආපහු ගුබ්බෑයමට එන්න ට්‍රයි එකක් දෙන්න චාන්ස් එකක් මේ වෙනකොට අපේ දේශපාලනයේ මෙතෙ බුදුන් ලබා දී  ඇත.

නිවන් ක්ලාස් එකේ පෙන්නපු මේ අලුත් ප්‍රැක්ටිකල් එග්සාම්පල් එක හින්දා මීට මාස අටකට කලින් තමුන්ට ජාතික වීරයෙක් වෙච්ච මිනිහා අද ටොයි පරපුරට ද්‍රෝහියෙක් , කන පතේ පහරු හිවලෙක් , කන්න දීපු අත  හපාකාපු බල්ලෙක් වී ඇත.
තමුන්ට   ද්‍රෝහියෙක් , කන පතේ පහරු හිවලෙක් , කන්න දීපු අත  හපාකාපු බල්ලෙක් වෙච්ච මිනිහා බයි පරපුරට අද ජාතික වීරයෙක් ය.

අවසාන විග්‍රහයේදී මෛත්‍රීපාල කිසිම කෙනෙක් වෙලා නැත.
විභීෂණ අහල තියෙන විදියට "නිවන" කියන්නේ කිසිම දෙයක් නැති තැනක් ය. ඒ නිසා කිසිම කෙනෙක් නොවන විදිය දන්නා කෙනෙක්ට හැර වෙන කිසිම කෙනෙක්ට දේශපාලනේ නිවන් දකින හැටි කියා දීමට පුළුවන් වෙන්නටද බැරිය.

ජනාධිපතිවරනෙට කලින් බයියන් තුෂ්නිම්භූත කල නූතන මෙතෙ බුදුන් මහා චන්දෙට කලින් ටොයියියන්වද තුෂ්නිම්භූත කර ඇත.  එහෙම වෙන්න හේතුව අවුරුදු ගානක් තිස්සේත් එක එක  ගුරු  ල ඇවිත් කොච්චර මහන්සි වෙලා ඉගැන්නුවත් ඉල්ලන්කා දේශපාලනේ නිවන් ක්ලාස් එකේ එක මැට්ටෙක් වත් ඒ පාඩම් හරියට ඉගෙන ගෙන පාඩම් කරලා සත්‍යාවබෝධය ලබාගත්තේ නැති වීමය . ප්‍රතිපත්ති වල වැදගත්කම කොච්චර ඉගැන්නුවත් එව්වා පැත්තක තියලා පර්සනැලිටීස් පාඩම් කර කර හිටපු හින්දා ක්ලාස් එකේ එකෙක්වත් "S" එකකින් එහාට එක්සැම් පාස් වුනේත්  නැත.  හරිහමන් විදියේ ප්‍රතිපත්ති පාඩම් කලා නම් ඉස්සරහට ගත්තා නම් එක එක රට වල කොලනියක් වෙන්න මේ රටට සිද්ධ වෙන්නේ නැත.
.
දේශපාලනේ ඇතුලේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත කියලා කව්දෝ මන්දා එකෙක් කවදාදෝ මන්දා කියල තිබිලා තියෙනවා ය. ඒ කතාව ඇත්ත ය. ඒ ඇත්ත , නෝමල් ඇත්තකට එහා යන්නේ  ඒ කියන්නේ පට්ටම ඇත්තක්  වෙන්නේ ඉල්ලන්කවෙදී ය.

තියරිටිකලි දේශපාලනය  කියන්නේ ප්‍රතිපත්ති මත ගොඩනැගෙන සංකල්පයක් වුනත් ඉල්ලන්කාවේ දේශපාලනය යනු ප්‍රතිපත්ති නොව , පුද්ගල චරිත, එක එක හුළං, ඇඳුම් පැළඳුම් , බිස්නස් වගේ දේවල් වලින් හැදිච්ච කර්මාන්තයක් බව දේශපාලනේ මෙතෙ බුදුන් කියාදෙන පාඩමය.

ඉල්ලන්කාවෙන් සුද්දාට නිදහස දීපු දා ඉඳන් අද වෙනකන් සිද්ද වුනේ ඕකය. තේරුම් ගන්නේ බොහොම ටික ය.

මේ දවස්වල කියාදෙන නිවන් පාඩමේ ලොකුම වෙනස හැම තියරියකටම ප්‍රැක්ටිකල් එග්සාම්පල් එක වෙන්නේ පාඩම උගන්නන්න ගුරු ම වීම ය. හැම බිස්නස් එකේම කරන අලුගුත්තේරු වැඩ සේරම උන්නහෙම කරලා පෙන්නලා දත කන්නේ අපිට නිවන් මග පෙන්නීමට ය.

මොලේ තියෙනවා නම් දැන් බයි ටොයි දෙගොල්ලොම ක්ලාස් එකේ පාඩම් හොඳට මතක් කරගත යුතුය. අමාරු තැන් තව දෙතුන් පාරක් කියවා බලා නොතේරෙන  තැනක් තියේනම් දන්නා එකෙක්ගෙන් අහගෙන ළඟ එන එක්සෑම් එකට ලැස්ති විය යුතුය.  නිවන් මග හරියට තේරුම් නොගත්තොත් තව ආත්මයක් හෝ ආත්ම ගානක් දේශපාලන සංසාරේ කරක් ගසන්න සිද්ධ වෙන්න පුළුවන.  එක ඉතින් ඉර හඳ වගේ නොව ඊටත් වඩා ෂුවර් බව කියන්න විභීෂණ ඉන්න ඕන කමක් නැත.

ඉවර කරන්න කලින්  කියන්න දෙයක් ඇත. නිවන් ක්ලාස් එකේ ඊලඟ පාඩම බයි පරපුරට බව වැඩ සිද්ද වේගෙන යන විදියෙන් තේරුම් ගන්න පුළුවන. ක්ලාස් එකට යන්න සිද්ද වෙන හැමෝටම කියන්නේ "කල්පනාවෙන් , සාවධානව පාඩම අහගන්න " කියලා ය. පන්තියේ පිස්සු කෙලින්නේ නැතුව පාඩම හොඳට අහගෙන තේරුම් ගත්තොත් හැමෝටම සෞඛ්‍ය සම්පන්න ය.

එහෙනම් අදට ඇති වගේ..

ගොහින් එන්නං ok????

-----

ආ..අමතක වුනානේ...
මෛත්‍රී බුදුන් පහල වෙලා ඉන්න වෙලේ සාදු කියපියවූ ඩො...

20 comments:

  1. /* මෛත්‍රී බුදුන් පහල වෙලා ඉන්න වෙලේ සාදු කියපියවූ ඩො...*/

    වෙලේ සාදු ද වෙලේ සුදා ද?

    ReplyDelete
    Replies
    1. හා හා ..කැට වරද්දගන්න එපා පින්වත..
      වෙලේ සුදා නොවේ "අතිගරු වෙලේ සුදා මැතිතුමා"

      Delete
  2. පැහැදිලිව සරළව කියනවා නම්, දැන් මේ රටේ තියෙන්නේ බයියන් හා ටොයියන් අතර ප්‍රශ්ණයක්. 2005 දි උනේ පාදඩ ග්‍රාමීය පන්තිය හෙවත් මරි මෝඩ, සට කපට, කුහක, ගෝත්‍රික මානසිකත්වයකින් නොඅඩුව සමන්විත බයියන් පිරිසක් අතට බලය පත් වීම. මේ දේ ලක් ඉතිහාසයේ සිඳුවන්නේ ප්‍රථම වතාවට. ඇත්තටම මේක බයියන්ගේ පැත්තෙන් බැලුවොත් නිහඬ විප්ලවයක්.

    මේකට එරෙහි උන ටොයියෝ කරේ, මේ වෙනුවට ටොයියෙක් පත් කර ගැනීම වෙනුවට, නොම්මර එකේ බයියෙක්ම පත් කර ගැනීම. ඒක පෑහෙන්නේ නැති ක්‍රියාවක්. ටොයියන්ගේ (ටොයි මානසිකත්වක් සහිත උන්ගේ) සියළු සිහිණ කුඩු කරමින් නැවතත් බයියන්ගේ මෝඩ චූන් බලා සැනසීමට රට වැසියාට සිඳු වනු ඇත.

    බයියන්ගේ මඟුල් ගෙවල් වලට වඩා ටොයියන්ගේ මඟුල් ගෙවල් බොහෝ වෙනස්ය. එහෙත් බයියාගේ මඟුල් ගෙදර ගියා නම්, බයියකු මෙන් හැසිරීමට පුරුදු විය යුතුය. නැති නම් අඹ සරණැය.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද හම්මේ :(((

      Delete
    2. //බයියාගේ මඟුල් ගෙදර ගියා නම්, බයියකු මෙන් හැසිරීමට පුරුදු විය යුතුය//

      අන්න සුපිරි කියමන...

      Delete
  3. ෂෝයි හුග කාලෙකින් ආවේ . ගොඩක් හිනාවුණා පිං සිද්ද වෙච්චාවේ හිටං

    ReplyDelete
    Replies
    1. එසේම වේවා හිටං බැරිනම් ඉඳන්...

      Delete
  4. නොමිනේෂන් දෙන්නේ නොදී බැරි තැනට අාපුවාම........ අගමැතිකමත් නොදීම බැරිවුණා කියයිද දන්නෑ........

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ නෙමෙයි බන් එහෙම මම තමයි...බලං හිටපන්කෝ හිටං..

      Delete
  5. බකං නිලං
    ඉඳිමු හිටං

    ReplyDelete
  6. බයියොයි ටොයියොයි බුකියෙ කෙලගන්න හැටි දැක්කම බඩේ ගින්දරේ බැරුවා ඕං...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා ..ඇත්ත තමයි බන්.. මුන් කෙල ගන්නේ හරියට මෛත්‍රිවයි මහින්දයි රනිලිවයි උන් ගෙවල්වලින් ගෙනාව වගේ...

      Delete
  7. ඕක අපි හැමදාම කියන කතාවනේ මලේ. අපේ එවුන්ට තේ-රෙනවා නම් මොකද ඉතින් හිටන්.
    http://nelumyaya.com/?p=3452

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ හිටං කිව්වලු ...

      -----
      වෙබ් එකේ දැම්මාට තැනක් යූ වේවා...

      Delete
  8. ඇවිත් ගියා..
    සාදු..සාදු

    ReplyDelete
  9. ‍මේක උඹ දැකපු විදිහෙ දෙයකට වඩා, මට නං පේන්නෙ උඹ කලින්ම කියපු ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පෝස්ටුවෙ පරිදි, මුල්ම ප්‍රොජෙක්ට් ප්ලෑන්එකේම ඉතුරු කොටස කියලා බං. පේන් නැද්ද මේකෙ වාසිය තියෙන්නෙ අලියට බව?

    ReplyDelete
    Replies
    1. අනිවා,,

      එදා මම කියපු ප්‍රොජෙක්ට් එක තාම යනවා...

      මේ තියෙන්නේ එකේ අතුරු ප්‍රතිඵල..අර side effects කියල සිංහලෙන් කියන්නේ...ආන්න එව්වා තමයි මේ....

      බලාගෙන ඉම්මු...

      Delete
  10. මං කියන දේ උඹ ඉතින් දන්නවන්නේ. ලිවිල්ලනම් සුපිරියි.

    ReplyDelete

කමෙන්ට් කලාපය....