2016-11-05

මිතුර ඔබට යන්න අවසරයි..

කිසිත් නොකියා
හඬකුදු  නොනගා
සමුගෙන ගියත් 
සදහටම මා හැරදා
තරහක් නැත 
මා මිතුර
බිඳකුදු කිසිදා


එනමුදු සොඳුර 

ඒ සොඳුරු ස්පර්ශය
ඒ සෞම්‍ය කටහඬ
ඒ සරල රිද්මය
ඒ ලෙන්ගතු උණුසුම
සිහිවන විට
ඇතිවන එකම දුක 
එකම කෝපය
වෙන කිසිවක් ගැන නොව
මා ගැන ම  පමණය

ඔබට පෙර සමුගන්න 
හැකිවුනානම් මට 
ඔබට ඉස්සරවෙන්න 
හැකිවුණා නම් මට

අනේ එහෙනම්
සියුමැලි කටහඬ ක්  
දිවි පුරා ඇසූ
ලෙන්ගතු සපර්ශයක් 
දිවි පුරාලැබූ
අසමසම රිද්මයක් 
දිවි පුරා විඳි
එකම වාසනාවන්තයා
වෙන්නට තිබුණා නේද
මම

අවනත නොවූ  විට මා ඔබට
නොලැබුණු  විට රිද්මය 
ඔබ පතන ලෙස 
කිසිත් තරහක් 
නොගෙන මා ගැන
සෙමින් මා ලඟට ගෙන 
පපුවට තුරුළු කර ගෙන
ලෙන්ගතු කමින්
සැනහූ හැටි 
ආදරයෙන්
පිරිමැදී හැටි 
සියුම්ව 
සුසර කල හැටි 
කිසිදිනෙක කිසිවිට
කොහොම නම් 
අමතක කරන්නද ?

මතකද මිතුර
ඔබ මා තුරුළු කර
සෙමින් මා පිරිමැද
සැනහූ හැටි 
සිත් සතන්
සිටි ඔබ වට කර 

ඔබේ මනසේ ඇඳුනු ලෙසටම
ඔබ මගෙන් පැතූ ලෙසටම
හඬ නැගුනු විට මගෙන්
කිසිත් අඩුවක් නොමැතිව
ඇඳුනු ඒ සිනා පොද 
අදටත් තවමත්
මට හොඳින් මතක ඇත

ඔබේ ඒ රසික කැළ
ඔබ අසා කුල්මත්ව
අත්පොළසන් දෙන විට
ප්‍රීතිඝෝෂා නගන විට
ඔබටම තුරුළු වීගෙන
ඔබේ දෑතේ පැටලී ගෙන 
මමද රහසින්
තුටු කඳුළු වගුල බව
බාගවිට ඔබ 
නොදැක්කා විය හැක

දනන් ඔබ ලඟට විත්
පැසසුම් දෙන විට
සුබ පතන විට
තුටින් අමතන විට
යම් සියුම් ආඩම්බරයක්
නැගුණුබව මා තුලත් 
බාගවිට ඔබට
නොදැනුනා විය හැක

මහත් වේදනාවෙන්
හදිසියේ ඔබ එදා
නගන විට හඬ  නගා
ඔබව අස්වසන්නට
ලඟට විත් සනසන්න වත්

බිඳක් සෙලවෙනු නොහැකිව
ලතවෙමින් 
වැලපෙමින්
කඳුළු වගුරමින්
කාටවත් නෑසුනත් 
විලාප දෙමින්
සිටි තැන නිසොල්මනේ
මා සිටියා
කිසිත් කර කියා ගත නොහැකිව

කෙසේ හෝ අවසන
සියල්ල නිමා විය
මහත් දුර ගමනක්
ඔබ ගියා
මා තනිකර
නැවත කිසිදිනෙක
හමුනොවනු ඇත
මා ඔබ

නොතිර සසර සයුර තුල
ඉපිද මැරෙන බව
යලි ඉපදෙන බව
ගැයූ ඔබම  අද
එබව පසක් කොට 
නික්ම ගියේ වෙද

ඔබවන් සොඳුරු 
මිනිසෙකුට තුරුලුව
ඒ ලෙන්ගතුකම උණුසුම
ආදරය  විඳි මම 
දිවි ගමන කෙලවර කරන තුරුම 
ලං ව සිටි මිතුරා වීමට
ලද භාග්‍යය
සමකලනොහැක
වෙන කිසි දෙයකට

සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු දැයම වැළපෙයි

සසර වසන තුරු
නිවන් දකින තුරු
යලි එක වරක් 
කොහේ හෝ මුණ ගැසෙන්නට පතමින් 


සොඳුරු මිතුර
දුකින් වුනත් ඉතින්
ඔබට යන්න අවසරයි..

මීට , 
ඔබේ මිතුරු,

11 comments:

  1. ගොඩක් වචන තියෙනවා අමරදේවට නොගැලපෙන... සොඳුර.. සියුමැලි.. උදාහරණ

    ඒත් උඹේ වේදනාව පිළිබිඹු වෙනවා...

    ReplyDelete
  2. අමරණීය වූ අමරදේවයන්ට සුභ ගමන් පතමු...

    ReplyDelete
  3. සුභ ගමන් අමරදේවයාණෙනි.........

    ReplyDelete
  4. සුබ ගමන් මිහිරි කොවුලාන

    ReplyDelete
  5. ඔබේ වියෝවෙන් කම්පිත වූ සිතාරයද ඉකි බිඳින සඳ අප ???????????

    ReplyDelete
  6. මුළින් කල්පනා කලා කවුරු විධිහට ද මේ ලිව්වේ කියල. පින්තුරේ දැක්කහම තේරුම් ගියේ. නියමයි.

    ReplyDelete
  7. වේදනාත්මක සමුගැනීමක්

    ReplyDelete
  8. වේදනාත්මක සමුගැනීමක්

    ReplyDelete
  9. දිග වැඩියි බන්!

    ReplyDelete
  10. හැමෝගෙම කමෙන්ට් වලට බොහොම තැනක් යූ ...

    ReplyDelete

කමෙන්ට් කලාපය....