2014-08-04

ආගම මහපාරේ..



ලංකාවේ දැන් පහලවෙලා ඉන්න "සිංහල බෞද්ධ" සහ "සිංහල කතෝලික" එනම් අයින්ස්ටයින් ට සොයා ගන්නට බැරිවුණු  දෙවන  සාපෙක්ෂ්තාවාදය (සාපේක්ෂ ප්‍රේමය, සාපේක්ෂ මෛත්‍රිය වැනි දේ අඩංගු) කරපින්නාගත්   උන් බහුතරයකට පුදුමාකාර උණක් වලදී ඇත. 


සැබෑ ලෙස බුදුන් සරණ යන සැබෑ ලෙස ජේසු සරණ යන කලඳක් තරම්වත් මොලයක් තියෙන සුළුතරය මේ ගොඩට ඇතුල් කරන්නට විභීෂණ කැමති නැත.

සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව උණ කියල කියන්නේ යම් රෝගයක රෝග ලක්ෂනයකටය.
ඉතින් විභීෂණ කියන්න යන මේ උණ ද එක්තරා භයානක සමාජ රෝගයක(ඒඩ්ස් වලටත් වඩා දරුණු ) රෝග ලක්ෂණ ය.

මේ රෝගය වැලඳුණු එවුන්ට පාරවල් වල තියෙන දෙමං, තුන්මං හතරමං ආදී හන්දි පෙන්නන්ට බැරිය.

දැක්කොත් පිස්සු හැදෙනවාය. ඇත්තම කිව්වොත් හදාගන්නවාය.

 ඒ පිස්සුව හැදෙන්නේ(හදාගන්නේ) අර දැකපු හන්දියේ සුරුවමක් හරි බුදු පිළිමයක් හරි අටවන්නටය.

ඉතින් මේ පිස්සුව මුලින් හැදුනු එකා දෙන්න ඊට පස්සේ ගම ගිනි තියන්නේය. ඇත්ත ගින්දරෙන් නොව කට කතා ගින්දරෙන්ය. 
ඇත්තම කිව්වොත් ඇත්ත ගින්දරත් මේ කට කතා ගින්දරට වඩා සැර අඩුය.

ඉතින් මුලින් පිස්සුව හැදෙන සැට් එක තමන්ගේ ආගමට අයත්  ගමේ ඉන්න කකුල් හතරේ හරක්ටත් අන්ත කකුල් දෙකේ ගොන් තඩි සැට් එකකුත් මේකට හවුල් කර ගන්නෝය.

ඉතින් මුන් ටික ගිහින් ගමේ පන්සේලේ හාමුදුරුවන්ව එහෙම නැත්නම් පල්ලියේ සුවාමිව  පිස්සු වට්ටවන්නේ එතනින් පස්සේ ගේම ලේසි නිසාය.

අනේ ඉතින් අර හාමුදුරුවො සිවුරක්  අන්දපු ගොන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් සුවාමි ලෝගුව ඇඳපු පඹයෙක් නම් පට් පට් ගාල අර හරක්ගෙයි බල්ලන්ගෙයි ඇම ඉල්ලගෙනම ගිලින සේක.



දැන් පිස්සු බල්ලන්ගේ සහ ගොන්නුන්ගේ වැඩේ කොටසක් අවසන්ය. උන්ගේ මුල්ම ජොබ් එක ගින්න අවුලල පිදුරු ටිකක් පැට්‍රොල් ටිකක් වක්කරන එකය. එතනින් එහාට අර අං ගිලපු හාන්දුරු ගොල්ලෝ සුවාමි ගොල්ලෝ වැඩේ අරගෙන ඉස් මුදුනේ තියාගෙන ඉදිරියට වදින සේක.

ඊළඟට තියෙන්නේ අදාළ හන්දියේ අයිතිය මුලින් අල්ල ගන්න එකය. ඒක  වැඩක් නොව සටනක් ය. 
මාර යුද්දෙත් ඊට වඩා ටිකක් ලෙසිය. කොහොම හරි ඉස්සර වෙන්න වාසනාව ලබන පිල එක්කෝ සුරුවමක් නැත්නම් බුදු පිළිමයක් අර අහවල් හන්දියේ කොටයක් හිටවල හරි තියන්නේය.

මෙහෙම තිබ්බම වැඩෙන් සීයට හට හැත්තෑවක් විතර අහවරය. මොකද අනිත් පිලට නොනිල ලෙස පරාජය බාරගන්නට සිදුවී ඇත.

පිළිමේ සුරුවම තියපු පිලටත් මෙතනින් පස්සේ ඉස්පාසුවක් නැත. මොකද උන් ම තියපු කොට උඩ මැටි කඳ දිගට ම රකින්ට උවමනාය. නැත්නම් අනිත් එවුන් ඇවිත් තිබුණු මැටි කඳ පැත්තකට විසි කරලා දාල ඒ ගොල්ලන්ගේ මැටි කඳ අර කොටේ උඩ පදිංචි කරවන්නේ ය.

ඒ හින්ද හැමදාම රෑට එතන ලයිට් දාන්ට , පහන් පත්තු කරන්නට උවමනාය. 

ගමේ ඉන්න මෝඩ හැත්තත් තමතමුන්ගේ ආගම අදහන්න තමන්ගේ ගෙදර තියෙන බුදු ගේ, සුරුවම් කූඩු පැත්තක දාල මේ මගුලේ හන්දියට බඩ ගාන්නෝය. 

ඇවිත් මදුරුවන්ට ලේ පූජා කරමින් ගාථා සොලෝක , ගීතිකා යාච්ඥා ප්‍රාර්ථනා කියමින් බෙරිහන් දෙන්නෝය.

දැන් පොඩි ඉතිහාස කතාවක් මෙතෙන්ට ඔබා ගන්නට විභීෂණ ට හිතෙන්නේ ය.

විභීෂණ දැන් පදිංචි පළාතෙත් ටවුමේ ඔරලෝසු කනුව හන්දිය අයිනේ ජේසුගේ සුරුවමක් අටවන  ලද්දේය.

එතකොට මේ  විභීෂණ පුංචි පැන්චෙක්ය . ඕං නම් හය වසරේ හත වසරේ වගේ වෙන්න ඇතිය.

ඔය සුරුවම අටෝගත්තේ අර මම කලින් කියපු වගේ ගේමක් දීලද කියල කියන්නනම් විභීෂණය දන්නේ නැතිය. එත් ඒ අටෝපු සුරුවම ළඟ ඒ අදාළ පල්ලියේ සුවාමි ( ඇත්තම කිව්වොත් පල්ලියේ දායක සභාව ( ඔය සමහර පල්ලි පන්සල් වල සුවාමිට හන්දුරුවන්ට වඩා දායක සභාව බලවත් ලු නේ.)) ශුද්ධවූ පැය( කතෝලික න් නිතර කියන යාච්ඥා වක්) තියන්න තීරණය කළා.

අනේ ඉතින් අපේ ගෙදර අය මාවත් එක්කගෙන එක දවසක් රෑ ජාමේ අර සුරුවම් කට්ට ගාවට ගියේ  ශුද්ධවූ පැය කරන්නටය. 
ගෙදර ඉඳන් කිසි අමාරුවක් නැතිව කරගන්න තිබ්බ දේ එදා කලේ මහපාරේ වාහන වල නලා  සද්දේ එන්ජින් සද්දේ මැද්දේ මදුරුවන්ටත් ලේ පූජා කරමින්ය. 
එයින්ම අපි ට ඒ මගුල එපා විය. 

සති කීපෙකින්ම අර සුරුවම ගාව තිබ්බ ශුද්ධවූ පැය ද නතර විය. 

විභීෂණ ට හිතෙන විදියට තමන්ගේ ආගමට අපහාස කරන්න පුළුවන් මේ වගේ හොඳ විදියක් තවත් නැත.

ඉතිහාසෙන් එගොඩ වෙලා ආයෙත් මගේ කතාවට ආවනං..

කොහොම හරි ඉතින් ඔය විදියට මුලින්ම අටෝන මැටි කඳ එතැන් නීතියෙන් හරි අවනීතියෙන් හරි එතන රෙජිස්ටර් වන්නේය. ටික කාලෙකින් අර කොටේ අයින් වෙලා කොන්ක්‍රීට් ස්ටේජ් එකකට අර මැටි කඳ වඩින සේක.

තවත් ටික කාලෙකින් එතන සිමෙන්ති වහලයක් ගහල පඬුරු පෙට්ටියක් ( සුරුවමට පිළිමෙට වඩා වටිනවලුනේ පඬුරු පෙට්ටිය) තියල මල් පහන් පූජා කරන්න තැනක් හදල අර සුරුවම හරි පිළිමේ හරි වීදුරු වලින් වහල කෙලින්ම මාලිගාවක් ගානට එතන ගේනවා.

ඉතින් මේ අතරේදී අර මුල්ම සටනින පැරදුනු අනිත් ආගමේ ගොන් වාහෙලා ටික තමන්ගේ අධිෂ්ඨානේ ඉෂ්ට සිද්ද කරගන්න ඔන්න හොයා ගන්නවා තව හන්දියක්. ගොඩක් වෙලාවට හොයන්නේ අර සුරුවම හරි පිළිමේ හරි මුලින්ම තියපු හන්දියට අල්ලපු එක හරි ඊට ලගම එකක් හරි තමයි.

ගොඩ වෙලාවට මුලින් පැරදුනු කට්ටිය මේ වටේදී දිනනවා. ඉතින් ඒ ගොල්ලොත් අර කලින් සැට් එක වගේම බෙර ගහල , හූ කියල මල් තියල පහන් පත්තු කරලා කාලෙත් එක්ක ඒ හන්දියට ත් මාලිගාවක් අරන් එනවා.

දැන් ඉතින් ගමේ හරි නගරේ හරි ඉන්න මෝඩ වහන්සේලා මේ මැටි කඳන් ගාවට ඇවිත් මල් තියල , කාසි පුදලා යනවා. අදාළ පල්ලිය හරි පන්සල  හරි අර පින් පෙට්ටියේ සල්ලි වලින් ගොඩ යනවා

මේ නාටකේ ලස්සනට බලා ගන්න පුළුවන් ආගම් දෙකේම මිනිස්සු ඉන්න සම හරක් ගම නගර වලය.

මේකට මේ විභීෂණය දැක්ක හොඳම උදාහරනේ තියෙන්නේ මීගමුවේ නගරයේය.
මීගමුවේ තෙල්වත්ත හන්දිය කියන තැන හන්දිය දෙපැත්තේ  මීගමු -කොළඹ පාර දිහා බලාගෙන මහා පතරංග ජේසු පිලිමෙකුයි මීගමු-කටාන පාර දිහා බලාගෙන මාලිගාවක තැන්පත් කරපු බුදු පිලිමෙකුයි  තියෙනවා සමහර විට මේක කියවන කට්ටිය දැකලත් ඇතිය.

ඕකෙත් හරි රසවත් කතාවක් ඇත . මීගමුව කියන්නේ බහුතරය කතෝලික වෙච්ච ප්‍රදේශයක් ය .හැමෝම දන්න කාරණයක් ය . එත් කවදාවත් ඔය කියා හන්දියේ කතෝලික සුරුවමක් තිබුනේ නැත . එහෙම දෙයක කිසි අවශ්‍ය තාවයක් තිබුනෙත් නැත . මොකෝ මීගමුවේ කතෝලික පල්ලිම කීයක්ද? එහෙම තියෙද්දී සුරුවම් මොකටද?

මීට අවුරුදු දහයකට ආසන්න කාලෙකට කලින් ප්‍රදේශයේ බෞද්ධ (චන්ඩි) බිස්නස් කාරයෝ කීප දෙනෙක් එකතුවෙලා ඔය හන්දියේ බුදු පිළිමයක් තියන්නැ හදුවෝය .

එකියන්නේ උන්ටත්  අර හන්දි භීතිකාව වැලදුනෙය. 

මීගමුවට සහ එහි සිටින බෞද්ධ ජනතාවට තමාගේ ආගම අදහගෙන ඉන්න  ඇති තරම් පන්සල්ද ඇත . එක්තරා පාරක මීටර 500ක් ඇතුලත එකම පැත්තේ පන්සල් දෙකක්ය. ඉතින් තව මැටි කඳක් මොකට ද කියල විභීෂණ ට හිතෙන්නේ නිකන් නෙමේය.

කොහොම හරි අර චන්ඩි ටික පිළිමේ තියන්න ලැස්ති වෙනකොට  පල්ලි කීපෙක සුවාමිල ඒ පළාතේ හිටපු කතෝලික අය එකතු කරගෙන පාරට් බැස්සෝය . එනම් මේගොල්ලන්ට ත්  කලින් එවුන්ට හැදුනු හන්දි භීතිකාවම වැලදුනේය .

අවසානයේ මහා යුද්ධයක් ඇතිවෙන්න ගිය සිද්ධියක් දැඩි වාද විවාද මැද නිවී ගියේ විසඳුමක් සහිතවය.
මොකක්ද විසඳුම.

හන්දියේ එක පැත්තක බුදු පිළිමේ තියන්න ත් ජේසු පිලිමෙකුත් තියන්න අවසර ලබා දීමය . දෙගොල්ලන්ටම හරි සන්තොසය. පිළිම වලට පන නැති නිසා හොඳය . නැත්නම් ඒ පිළිම දෙකේ ඇස් වලින් එන කඳුළු පිහිදාන්ට රෙදි යාර ගණන් අවශ්‍ය වනු ඇත . 
එහෙම වුනා නම් ජෙසුයි බුදු හාමුදුරුවොයි දෙන්නම එකට  ඒ කොන්ක්‍රීට් ඉස්ටෙජ් වලින් බැහැල දෙන්නම එකට කරේ අතදාගෙන ඇවිදගෙන ගිහින් කොහේ හරි පාලුය් පළාතකට වෙලා ජීවත් වෙනවාය . 

කතාව ටිකක් පරණ වුනාට මේ වගේ සිද්ධි නම් තාමත් තැන තැන ඇසෙන්නේය.

ඒ තාමත් ආගම් මහා පාරේය. එනම් යක්ෂයා ගෙවල් ඇතුලේය.

මේ එක්කම විභීෂණ ට මෙහෙම දේකුත් හිතෙන්නේය.

මුස්ලිමුන් පිළිම වන්දනාව නොකරන්නේ හොඳ වෙලාවටය.

විහිලුවට වගේ වත් උන් පිළිම වදින්න පටන් ගත්තා නම් ඥානසාර හාන්දුරුවන්ට , ඉත්තෑකන්දේ හාන්දුරුවන්ට සහ උන්වහන්සේලාගේ  මැටි හරක් හමුදාවට කරන්න තව තව වැඩ වැඩිවනු ඇත.

අදට ඇති වගේ...

ආයුබෝ වේවා..


47 comments:

  1. ශා දෙන්නත් එක්ක ඉන්න අපුරුව..
    මට නිකන් සැකයක් තිබ්බා අපේ බුදු හාමුදුරුවෝ බුද්ධාගමේ නෙවෙයිද කියලා.. ඒක සනාථ වෙනවද මන්දා

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවෝ බෞද්ධ නෙමෙයිනේ JP . උන්වහන්සේගේ කාලෙදී තිබිලා තියෙන්නේ හින්දු ආගමනේ..

      මම නම් අහල තියෙන්නේ එහෙමයි.

      වැරදි ද දන්නේ නෑ.

      Delete
    2. සිදුහත් උපන්නේහින්දු වුණාට බුදුවෙලා අළුත් දහමක් දේශණා කළා නේ.

      ජීසස් නං දැන් තියෙන කැතලික් හෝ ක්‍රිස්තියානි නිකායක නොවෙයි. කතෝලික ආගම පටන් අරගෙන තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ තුනේ දී.

      Delete
    3. කතන්දර බොහොම ස්තුතියි අඩු පාඩු හරිගස්සුවට...

      Delete
  2. හිහි...
    අහේතු කාලේන කජ්ජේන පුහුලන් කීවලු...
    දැං තියෙන්නෙ ආගම් වාදය සහ ප්‍රදර්ශනාත්මක ආගම් ක්‍රමයක් නෙව...
    ඒකෙන් මිනිස්සුන්ට ශාන්තියක් කෙසේවත් ?????????

    ඉතුරු ටික නිසි බලධාරියා කපා හරින ලදී

    ReplyDelete
    Replies
    1. අය්යෝ..කවුද ඒ මෝඩ නිසි බලධාරියා..අනුන්ගේ ඒවා කපන..

      Delete
  3. බුදු සාධු හන්දියේ
    මක් කරනවද
    කුඩු කාරයෝ එක්ක
    වඩින්න
    හරකුන්ගේ
    හිත් වලට.

    ReplyDelete
    Replies
    1. අනේ බුදු මල්ලියේ..
      කරන්නම් කියන ඕන දෙයක්..
      ගනින්කෝ
      මාව මෙතනින්..
      ජුන්දක්වත් පරක්කු නොවී..
      කුඩු ගහල අපවත් වෙන්න පෙර...

      Delete
  4. ඔය මීගමුව හන්දියේ සීන් කෝන් එක තදටම ඇවිලුනා අපි ඒ ලෙවල් කොරන කාලෙ. මාර ආතල් වලිය හලෝ... මතකද අර එක අම්මණ්ඩි කෙනෙක් බුදු පිළිමෙ වඩාගෙන පන්සලට අරන් ගිහින් දුන්නෙ එකපාරක්.

    පිළිම දෙක තියපු දවස් වල එක කෙලියයි එතන ඉස්සරහ කුණු කාණුවල ඉන්න මදුරුවන්ට ලේ දන් දිදී කට්ටියම හෝ ගාලා ගාථා කියනව ඔරසම් කියනව. දැන් නම් මොකෙක්කත් නෑ නේද හවහට. කලාතුරකින් ආච්චි කෙනෙක් ඔලුවෙ ස්කාෆ් එකක් බැඳන් ඔරසමක් කියනව පේනව. එච්චරයි.

    මෙන්න මේවගේ දේවල් ගැන ලියන්න දිගටම. ඔය සීන් එක දිනපතා දැක්කත් ලියන්න හිතුනෙවත් නෑ මට. එහෙව් එකේ ඒක ලියා තියන්න ඔයාට හිතිච්ච එකම මාර වටිනව. පට්ටයි ඈ...!

    ඔය ලෙඩේට අපේ තාත්තත් කියන්නෙ "හන්දි අමාරුව" කියල.

    ReplyDelete
    Replies
    1. මටත් ඉබේ ඔලුවට ආපු අයිඩියා එකක් බස්සියෝ...

      ඒ කියන්නේ තාත්ත ත් දන්නවා වෙනස ඈ..

      Delete
  5. //මුස්ලිමුන් පිළිම වන්දනාව නොකරන්නේ හොඳ වෙලාවටය.//

    ඒත් මදෑ බං අර හදන පල්ලි වල සයිස් එක දැක්කම..

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ ..තව මොකටද බන් උන්ට පිළිම..

      Delete
  6. කතොලික ක්‍රිස්තියානි උදවිය පිලිම ජාති කීයක් නම් තියනවද? ජේසු බබා, එයාගෙ අම්මි, සාන්ත ඇනා (ජේසු බබා ගෙ ආච්චි) , බබා ගෙ සීයා, සුද්දවූ සෙබැස්තියන් තුමා, සාන්ත අන්තෝනි තුමා, ජෝන් බොස්කෝ තුමා මහින්ද රාජපක්ස තුමා..... ආ... මට වැරදුනා... සොලි...

    ඒකට අපේ කම්මලි බහුද්දයො....

    හන්දිවල බුදු හාමුදුරුවන් ගෙ පිලිම සහ බුකි වල චන්න ඇමතිය කන්තක අස්සයව රයිඩ් කරන නියොන් වැඩ කෑල්ල විතරයි...
    ඉතින් කොහොමද පින්වතුනි නිවන් යන්නෙ???

    ReplyDelete
    Replies
    1. අය්යෝ..එක නේන්නම්..මේ කම්මැලි බෞද්ධයෝ ඔච්චර කළා කටයුතු වලට දක්ෂ එවුන්..බුදු පිළිමේ ඇරෙන්න වෙන මොන එටිගේදියක්වත් හදල නැහැනේ...පවු අය්යෝ..

      Delete
    2. අඩේ මේ Sa rasa ගේ කොමෙන්ටුවට බඩ පැලෙන්න හිනා ගියා.... කියල වැඩක් නෑ

      Delete
    3. අන්න ඒ කතාව නම් සහතික ඇත්ත.

      Delete
  7. ගස් ගල්, ඉර හඳ, සහ පිළිම වන්දනාව නතරකරල මිහිඳු හාමුදුරුවෝ සිංහලයගේ නැට්ට කැපුව කියන්නෙ මීට අවුරුදු දෙදාස් ගානකට උඩදිලු නේද? දැන් එතකොට ආයිමත් නැට්ට ඇවිල්ලද දාගැබ්, පිළිම බෝ ගස් වලට වඳින්නෙ?????????!!!!!

    ReplyDelete
    Replies
    1. දැන් නැට්ට නෙමෙයි සඳරුව ඔලුවේ අන් තමයි ඇවිත් තියෙන්නේ..

      Delete
  8. ආයුබෝ වේවා....බෙර පදයක් ගහලාම පටන් අරන් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. එහෙමයි..එහෙමයි..
      නටමුද වන්නමක් එහෙම..

      Delete
  9. පිස්සුවට බෙහෙත් තිබුනට මෝඩකමට බෙහෙත් නෑ කියනවනේ.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත විචාරක..

      Delete
  10. පිළිම වන්දනාව නම් මට මහා විකාරයක්... එච්චරක් ඇති හම්මේ ආගම ගැන සංවාද කිරිම නවතා ඇත.මාත් මේ පැත්තට ආවා.....දිගටම ලියන්න ..ජය!

    ReplyDelete
    Replies
    1. ආගම් යනු ලොව විශාලතම ආද්දයම් මාර්ගයක් වන අතර දරුණුම ත්‍රස්තවාද වලට උඩගෙඩි දෙන ව්‍යාපාර ජාලයකි.

      Delete
  11. ආයිබෝං ලොක්කා … මාතලං බොස් පාර කිව්වේ .
    පිලිම නේ.. මං යනවා !!!!

    ReplyDelete
    Replies
    1. අයිබෝන් කිව්වා..

      ඔකේ මචං..

      Delete
  12. මට නං හිතෙන්නේ අපි ඔය කියන මැටි පිළිම වලට වන්දනාමාන කරනවට වඩා.. අපිව අන්දන.. අපිත් ඇඳගන්න කැමති... ජාතික ඇඳුමින් සැරසුනු.. යුරෝපිය ඇඳුමින් සැරසුනු.. හිටපු ගමන් පාට වෙනස් කරන.. බොල්ම බොල් පිළිම වන්දනා මාන කරනවා නේ.........

    ඔය පිළිම ගැන කිව්වම ඉතිං කියල වැඩක් නෑ.. හැබැයි අපේ ගෙදරත් තියනවා... විභීෂණගේ ගෙදරත් තියනවා ඇති සමහරවිට....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අනිවා..අපේ ගෙදරත් තියෙනවා...

      එක ඉතින් අපේ ආගමික වැඩ වලට ඇති..

      මෙතැන් වෙලා තියෙන්නේ මේ හොඳට ගේ ඇතුලේ කරගන්න තියෙන ආගමික වැඩ අනුන්ට පේන්න, තමන්ගේ බලේ පෙන්නන්න හන්දි ගානේ ගිහින් කරන එකනේ..

      Delete
  13. මාතලන් කියපු පාරේ ආවෙ.පට්ට පදිරි කිව්වලු.ඔන්න මම රෝලෙත් එල්ල ගත්තා.මේ කියපු කතාවට නං විබීසන ගෙ කටේ මසුරං දැම්මත් මදි.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා හැලපෙ ..

      සාදරයෙන් පිලිගන්නවා..

      Delete
  14. මිනිස්සු ගස් ගල් වලට ඔහේ වැන්ද අතීතයක් තිබුනා.. එතකොටනම් මිනිහා නොදියුණුයිලු.. දැන් මැටියෙන් හදපු පිළිම වලට වදිනවා.. මම අනික් ආගම් ගැන කියන්න දන්නේ නෑ.. බුදුහාමුදුරුවෝ දේශනා කලේ තමන්ව නෙමෙයි ධර්මය අනුඟමනය කරන්න කියලා.. ඒත් අද කාටත් ඒක අමතකයි පේන හැටියට..

    ReplyDelete
    Replies
    1. හැම ආගමේම ගොඩ දෙනෙක්ට "ධර්මය" අමතක වෙලා දිනේෂ්. දැන් හැමෝම වත්පිළිවෙත් පස්සේ දුවන්නේ. ධර්මය අනුගමනය කරන එක රකින එක හිතන තරම් ලේසි නැහැ. අනික එහෙම කළා කියල කාටවත් එක පේන්නේ නැහැ. ඒ හින්ද තමුන්ට අනුන්ගෙන් ලකුණු නැහැ. අනුන්ගෙන් ලකුණු ගන්න කරන්න ඕන වත් පිළිවෙත්, පුද පූජා වලට මුල්තැන දීල ලෝකෙටම පේන්න එව්වා කරන එක. එතකොට කිලෝ ගානට ලකුණු,.

      Delete
  15. ඔය මගුල් හදල නිකම් ඉන්නෙ නෑ නේ, වටපිට ඉන්න එවුන් ඔක්කොමගෙ කනපැලෙන්න පිරිත්, බක්තිගීත, සින්දු, බණ, මංගල්ල යාඥ, call to prayers උදේ දවල් රෑ දානවනෙ

    ReplyDelete
    Replies
    1. අහල පහල ඉන්න එවුන් මුන්ගේ දෙමවුපියන්ට පින්දෙනවා හිතේ හැටියට..

      Delete
  16. හෙහ් හෙහ් ඕව නම් තව පරම්පරා 3-4ක් ගියත් වෙනස් වෙන්නේ නැති වෙයි. මොකද මේ අපි වගේම තරුණ උන් තමයි දැන් ඕවට මුලික වෙලා වැඩ කරන්නේ.. වයසක මිනිස්සු නෙවෙයි. ඒ කියන්නේ පසු පරම්පරාවලුත් ඔය ආතල් ගනියි...

    ReplyDelete
    Replies
    1. එකනම් සහතික ඇත්ත පැතුම්..දැන් ඔය මහා උජාරුවට බලු සේනාව පස්සේ වැටිලා ඉන්නේ නාකි මිනිස්සු නෙවෙයිනේ..

      එකෙන්ම අපිට අනාගතේ ගැන චිත්තරේ මවා ගන්න පුළුවන්..

      Delete
  17. ඔන්න මාතලන්ගේ මග පෙන්වීමෙන් මාත් ආවා මේ පැත්තට එන්නං දැන් දිගටම..

    ReplyDelete
    Replies
    1. තැනක් යූ නලීන් අයියා..බ්ලොග් ලෝකේ මම ගොඩක් කැමති චරිතයක්...

      හරි හරි දිගටම සෙට් වෙමු එහෙනම්..

      ජය වේ..

      Delete
    2. මමත් එනෝ සෙට් වෙන්න.

      Delete
  18. මුලින්ම මාතලන් අයියන්ඞිට බැනලා ඉන්නම්..
    මොන බිත්තරයක් කරාද මෙච්චර පරක්කු කරේ මෙි බොලොග් එකට අපිට එන්න පාර කියනනේ නැතුව.
    ලිපිය එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...

      මාතලන් බොස්..ප්‍රවේසමෙන් මෙන්න මූ ඔහේව හොයාගෙන එන්න හදන්නේ

      Delete
  19. ඇත්ත තමයි...කරන්නන් වාලේ කරනවා. තන්හාව, වෛරය ඩබල් එකේ වපුරනවා. ඔය වගේ කුරුස-බෝ ආගියුමන්ට් එකක් ...අපේ පැත්තේ ගියා පන්සල්-පල්ලි දෙකක් අතරේ කේස් එකක් ඔහොම තැනක් බෙදාගන්න. පන්සලේ සාධු අනිත් පැත්තේ දායිකාවට කිව්වා" මට කියලා මල තලාගන්න එපා" කියලා. ඒ ගෑණී කිව්වා "පල්ලියේ ෆාදර් ඒක තලලා තියෙන්නේ..සාධු කලබල වෙන්න එපා" කියලා. ඉතින් බලපන්....එතන හිටිය වයසක කෙනෙක් ගෑණු දිහා බලලා කිව්වා "මුන්ට කියලා මල් තලාගන්නේ...තොපේ ගෙවල්වල එව්වෝ ,තපස් රකිනවාද" කියලා.

    ReplyDelete
    Replies
    1. කාගේ කාගේත් කිල්ලෝට වල තියෙන හුණු පේන්න පටන් අරගෙන ...

      Delete
  20. සිරා කතාව හැබැයි... අම්මප..

    ReplyDelete
  21. මේ කතාව නම් සහතික ඇත්ත. මට නම් ඔය හැම හන්දියේම තියෙන මේ පිළිම මහා කරදරයක්, විකාරයක්. ඇත්තටම දායකයෝ තමයි මේවගේ බාල වැඩ පටන් ගන්නේ. අන්තිමට ගහගන්නේ ආගමික පූජකයෝ.... නරඹන්නෝ නම් ආතල් ගන්නවා

    ReplyDelete
    Replies
    1. ඔවු බන්. මේක මහා පුදුම විකාරයක්. මැටි කඳන් හරස් කරන ආගමික කෝලාහල කරනවා.

      ආගම් තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් මිසක් මිනිස්සු ඉන්නේ ආගම් වෙනුවෙන් නෙවෙයිනේ.

      ඔන්න ඕකයි මිනිස්සු පොට වරද්දගන්න තැන.

      ඕක වරද්දාගෙන ඉතින් කෙල ගන්නවා. අන්තිමේදී නැටි ටික විතරයි එකතුකරගන්න තියෙන්නේ.

      උඹේ කමෙන්ට් එකට තැනක් යූ...

      Delete

කමෙන්ට් කලාපය....