Followers

2016-02-22

ජීවිතය කොයිතරම් දුකක් ද?

ජීවිතය කියන්නේ කොයිතරම් පුදුමාකාර දෙයක්ද?
එක ඇතුලේ මොනතරම් සතුටුදායක දේවල් වෙන්න පුලුවන්ද? මොනතරම් කටුක දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද?
මනුස්සයෙකුට කොයි තරම් දරුණු රෝගාබාධ හැදෙන්න පුළුවන් ද?
මනුස්සයෙක්ට තමුන්ගේ ජීවිතේ ගැන මොනතරම් දරුණු තීරණ ගන්න පුලුවන්ද?



මේ පහුගිය දවස් දෙක තුනේ විභීෂණ ගේ  හිතේ පැන  නැගිච්ච බොහොම සංවේගජනක "උත්තර නැති" ප්‍රශ්න කීපයක් ය.

ඇත්තටම මෙහෙමඋත්තර නැති ප්‍රශ්න මගේ ඔලුව ඇතුලේ කැරකෙන්න  පටන් ගත්තේ මගේ හොඳම මිතුරෙකුගේ හදිසි අභාවය නිසාය.

මම වැඩකරන ආයතනයේ ම අපේ ඩිපාට්මන්ට් එකේම අවුරුදු 8ක් තිස්සේ වැඩකරපු , රාජකාරිමය වශයෙන් ගොඩක් අවස්ථාවල මා එක්ක එකට වැඩකරපු , මේ අවුරුදු 8 තිස්සේ ඩිපාට්මන්ට් එකෙන් ගිය හැම ට්‍රිප් ඒකටම ආපු, ඔගනයිස් කරපු හැම ඉවෙන්ට් ඒකටම සහභාගී වුනු කොටින්ම කිව්වොත් ඩිපාට්මන්ට් එකේ හැම මගුලටම ආපු , අපේ විතරක් නොව අනෙක් හැම ඩිපාට්මන්ට් එකක් එකම බොහොම සුහදව වැඩකරපු මේ "මිතුරා" පහුගිය සිකුරාදා පාන්දර අපි හැමෝම අතරින් වෙන් වුනා.

මගේ මේ "මිතුරා" මේ අවුරුදු 8 තිස්සෙම අපි හැමෝම එක්ක බොහොම "සතුටින්" වැඩකරපු එකෙක් ය.
කිසිදා බුම්මාගත් මූණක් තියාගෙන නැත. සුපිරි මීටරයක් ය.
ලැබෙන හැම වැඩේම බොහොම සතුටින් බාරගෙන පුළුවන් තරම් හොඳට සම්පූර්ණ කිරීම ඔහුගේ කැපී පෙනුණු ලක්ෂණයක් විය.
ඔහුට වැරදුනු  හැම අවස්ථාවකදීම ඔහු කලේ ආපහු ඒ වැරද්ද නොවෙන්න කරන්න පුළුවන් මොනවද කියලා හොයලා බලලා දන ගන්න එකය. ඒ ජාතියේ මිනිස්සු ඉන්නේ ටිකක් නිසා මොහු කැපී පෙනෙන එක වලක්වන්න කාටවත් බැරි විය. හැමෝගෙම විශ්වාසය දිනාගෙන වැඩකරන්න තරම් මොහු වාසනාවන්ත විය.

අතපල්ලෙන් වැටුණු එකෙක් වගේ නොව තමුන්ගේ අවට සමාජය ගැන බොහොම හොඳ දැනුවත් කමකින් හිටපු මේ මිතුරා ඕනෑම බාහිර ක්‍රියාකාරකමකට ලෝස් නැතුව සහභාගී වුනේය.
ටිකෙන් ටික සීනියර් වෙනකොට බොහෝ දෙනෙක්ට හැදෙන ඔලුව ඉදිමීමේ රෝගය හැදුනේ නැති නිසා මෙයා තමුන්ගේ ජූනියර්ස් ලාට බොහොම සමීප හිතවත් ගුරුවරයෙක් විය. ඒ නිසා ඔහු හැමෝගෙම "අයියා" කෙනෙක් බවට නිතැතින්ම පත් විය.

කොහොම වුනත් මගේ මේ මිතුරා ගේ  අවාසනාව දිග හැරෙන්නේ මීට මාස දෙක තුනකට පෙර සිටය.
අපිට ලැබුණු තොරතුරු අනුව මොහුට ටික කාලෙක ඉඳන් බඩේ වේදනාවක් දැනෙන්න්න පටන් අරගෙන තිබුනේ ය. බොහෝ විට ඒ වේදනාව දැනෙන්නේ ප්‍රධාන ආහාර වේලක් රැගෙන් ටික වෙලාවකට පස්සෙය.

දිගින් දිගටම මේ වැඩේ වෙන නිසා මීට මාස කීපෙකට කලින් දොස්තර ලා  ලව්වා චෙක්  කරනකොට ඒ දොස්තර ලා කියලා තිබුනේ මෙයාගේ කුඩා බඩ වැලේ අඟල් කීපෙක කොටසක බිත්ති ඝනකම් වෙලා කියලා ය. කෑම කනකොට වේදනාව දැනිල තියෙන්නේ මේ ඝන වෙච්ච ප්‍රදේශයෙන් කෑම ගමන් කරන කොටය.

එත් මේකට හේතුව හොයාගන්න ඒ දොස්තර ලා ඒ වෙලේ සමත් වෙලා නැතිය. කොහොම නමුත් එක්තරා ටේස්ට් වගයක් කරන්න හොස්පිටල් ඇඩ්මිට් වෙන්නය කියලා එයාල මගේ මිතුරාට උපදෙස් දීලා තිබුනේය.

මේ කොල්ලාගේ ගම ගාල්ලේය. අපිත් එක්ක වැඩකරන්නේ කටුනායක ය. ගෙදර අය  කලබල වෙනවට අකමැති නිසා මෙයා ගෙදර කාටවත් නොකියාම රාගම හොස්පිටල් එකේ ඇඩ්මිට් වුනේය. එකට වැඩකරපු කොල්ලෝ තුන් හතර දෙනෙක් උදේ හවා රාගම හොස්පිටල් ගිහින් මෙයාට කෑම දීලා ඇඳුම් පැළඳුම් හෝදලා දීලා තමුන්ගේ යුතුකම් ඉෂ්ට කලේ එයත් එක්ක තිබ්බ ඒ මිත්‍රත්වය නිසාය.

එ මොනා වුනත් ඉස්පිරිතාලේ ඇඳේ ඉඳගෙනත් එන හැමෝම එක්ක බොහොම සැහැල්ලුවෙන් හිනාවෙලා විහිළුවක් කරගෙන මගේ මිතුරා සිටියේය. අපිත් ඔහු බලන්න රාගම ගිය වෙලේ ඉහෙන් බහින ලෙඩක් නැති එකෙක් විදියට ඔහු හිටියේ ය.

කොහොම හරි ජනවාරි මුල ඉඳන් සති දෙක තුනක් වෙනකන් රාගම කරපු ටේස්ට් එකක්වත් පොසිටිව් වුනේ නැත. ලෙඩේ සුවකරන්න නම් කුඩා බඩවැලේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කරන්න ඕනය කියන තීරණය හොස්පිටල් එකෙන් ලබා දී තිබුනේ  අවසාන උත්තරය විදියට ය.

ඔපෙරේෂන් එකක් කරන්න ඕන නිසාත් ඒ වෙලාවට ගෙදර අය  ළඟ ඉන්න ඕනා නිසාත් මගේ මිතුරා මගේ මෙන්ම තව බොහෝ දෙනෙක් ගේ උපදෙස් පිට රාගමින් ටිකට් කපාගෙන කරාපිටිය ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වුනේ ය.

ඒ වෙනකොටත් මිනිහා හිටියේ බොහොම කලකිරීමෙන්ය. ඒ තමුන්ගේ හිතේ හැටියට කන්න බොන්න නැති කම සහ හිතේ හැටියට මිනිස්සු ආශ්‍රය කරන්න බැරි කම නිසාය. ඔහු ම අපිට කියා තිබුණු විදියට ඉස්පිරිතාලේ ජීවිතය ඇත්තටම ඔහුට තිත්ත වෙලා තිබුනේය.

කොහොම හරි කරාපිටිය හොස්පිටල් එකෙන්  මිනිහාගේකෑම බීම සියල්ල රාගමට ත් වඩා දරුණු විදියටසීමා කරලා තිබුනේය. සති දෙක තුනක් තිස්සේ ම තුන් වේලටම දීලා තිබුනේ දියර ආහාර විතරය.

ඔපරේෂන්  එකට දවස දෙකකට කලින් ඒ ටිකත් නවත්තන්න නියෝග කරලා තිබුනේය.කොහම හරි ගිය සුමානේ නෙමෙයි එපිට සුමානේ බ්‍රහස්පතින්දා මගේ මිත්‍රයට අදාළ ශල්‍යකර්මය සිදු කරන ලද්දේය.

ආරංචි වෙච්ච විදියට පැය දෙකක විතර ඔපෙරේෂන් එකක් ය. අදාළ බඩවල් කොටස අයින් කරලා ඉතිරි කොටස් ආපහු සම්බන්ධ කරලා ඔපෙරේෂන් එක අවසන් වී ඇත. එත් ඊට පස්සේ  පස්සේ සතියක් යනකන් වතුරවත් දෙන්න එපාය කියලා ඉස්පිරිතාලෙන් කියා  තිබුණි.

ඔපෙරේෂන් වලින් පස්සේ දවස් කීපයක් යනකන් වතුරවත් දෙන්න එපා කියන දේ සාමන්‍ය දෙයක් නිසා එහි අමුත්තක් නැත.
ඔපෙරේෂන් එකෙන් පස්සේ මෙයාගේ නහයෙන් කටෙන් බට දාලා, අතට සේලයින් දාලා , මුත්‍රා වලට කැතීටරයක් දාලා , බඩ ඕපන් කරපු තැනින් සැරව එහෙම  එකතු වෙන්න බට සිරින්ජර් දාලා ඇඳේ දවස් දෙක තුන තබා ඇත.

කොහොම හරි දැනගන්න තියෙන විදියට මෙයාගේ අසාදන තත්ත්වේ බඩවැල ඇතුලේ හිතුවාට වඩා වැඩි ප්‍රමාණයක් පැතිරී තිබී ඇත.

ඒ වගේම සැත්කමෙන් දවස් ගානකට පස්සේ ඒ සැත්කම කරපු තනි සැරව ගලන්න පටන් අරන් ඇත. ඒ කියන්නේ කරපු ශල්‍ය ක්‍රමය සම්පූර්ණයෙන්ම සාර්ථක වී නැත. ඒ නිසා මේ ලිපිය ලියන අද හෝ හෙට දින ආපහු ඔපෙරේෂන් එකක් කිරීමට හොස්පිටල් එකෙන් තීරණය කර තිබී ඇත.

මේ ඔක්කොම මෙහෙම සිද්ධ වෙන්න තීරණය වෙලා තියෙද්දී.................

.........
....

පහුගිය බ්‍රහස්පතින්දා සිද්ධ වුනේ අපි කවුරුත් බලාපොරොත්තු නොවූ අපිට කාටවත් හීනෙන්වත් හිතාගන්න බැරි සිද්ධි දාමයක් ය....

....

මෙතනින් එහාට ලියවෙන්නේ අපිට මගේ මිතුරාගේ සහෝදරයින්ගෙන් සහ පවුලේ අනිත් අයගෙන්  දැනගන්න්න ලැබුණු තොරතුරු ය.

පහුගිය බ්‍රහස්පතින්දා හවස සුපුරුදු විදියට මෙයාගේ ගෙදර අය ඇවිත් මෙයාව බලලා හවස  6 වෙනකොට ගෙදර යන්න පිටත් වී ඇත.
...
..

මෙයාගේ ආවතේව වැඩ වලට එයා ළඟ ඉඳලා තියෙන්නේ එයාගේ තාත්තා ය.

කොහොම හරි තාත්තා රෑ කෑම එහෙම කාලා ආවට පස්සේ මගේ මිත්‍රයා  වැසිකිලියට යන්න ඕනය කියලා අර බට , සිරින්ජර් සේරම අරගෙන ඇඳෙන් බැහැල ගිහින් ඇත.
ඇත්තම කිව්වොත් ඒ වෙලාවේ මිනිහා ඉස්පිරිතාලෙන් පැන ගොස් ඇත.

--
පැනල ගිහින් ඉස්පිරිතාලේ ගාවින් වීල් එහෙකුත් හයර කරගෙන ගාල්ල පැත්තේ ෂෙඩ් එහෙකට ගිහින් පෙට්‍රල් බෝතලේකුත් අරගෙන ඇත,

එහෙම අරගෙන ගිහින් ගාල්ල ෆුට්බෝල් ග්‍රවුන්ඩ්  එකට ඇතුල් වෙලා පෙට්‍රල් හලාගෙන ඇඟට ගිනි තියාගෙන ඇත.

කොහොම හරි මේ සිද්දිය කවුරු හරි දැකලා 119 එකට කෝල් කර ලා පොලීසිය ගෙන්වා ඇත.
පොලීසියෙන් ගින්න නිවලා දාන කොටත් මෙයා හොඳ සිහියෙන් සිට ඇත.
ගිනි තියාගත්තේ මොකද කියලාපොලීසියෙන් අහනකොට මෙයා කියලා තියෙන්නේ " මම නිසා ගෙදර ඇය දුක් විඳිනවා බලං ඉන්න බැරි නිසා මෙහෙම කරගත්තා" කියාය.

කොහොම හරි පොලීසිය විසින් ආපහු මෙයාව කරාපිටිය ඉස්පිරිතාලේටම ඇතුල් කරලා ඇත.
ඉස්පිරිතාලෙට ඇතුල්  කරනකොට තමුන්ගේ තාත්තා ඉස්පිරිතාලේ ඇතුලේ ඉන්නවා දැකලා තාත්තටත් "මම යන්නම් " කියන්නා වගේ අත උස්සලා ඇත.

ආපහු බෙහෙත් දාන්න ලැස්ති වෙලා නර්ස් ලා සේලයින්  ගහන්න යනකොට මෙයා ඒ කටු යි  ඒ වෙනකොටත් තමුන්ගේ ඇඟට දාල තිබ්බ බට සිරින්ජර් සේරම ගලෝලා විසික් කර ඇත.

කොහොම හරි දන ගන්න්න තියෙන විදියටමගේ මිතුරාගේ ශරීරයෙන් සීයට අසූවක් පමණ පිලිස්සී තිබී ඇත.

රෑ 8 ට විතර පිළිස්සුම් තුවාල එක්ක ඉස්පිරිතාලෙට ඇතුල් කරපු මගේ මිතුරා පහුවෙනිදා පාන්දර 1 විතර වෙනකොට අවසන් හුස්ම හෙලා ඇත.

--------
මෙතනින් එහාට සිද්ද වෙන දේ අමුතුවෙන් මෙතන ලියා තේරුමක් නැත.

සිය දිවි නසා ගැනීම කොයිතරම් ලොකු පාප කර්මයක් වුනත් මගේ මිත්‍රයා ගත්ත තීරණය අපි හැමෝටම කොයිතරම් ශෝක ජනක වුනත් ඒ තීරණය එක අතකින් නිවැරදි ය .

කලින් ඔපෙරේෂන් එකෙන් අයින් කරපු බඩවැල් කොටස් වල පරීක්ෂණ වාර්තා ලැබෙන්න තියෙන්නෙ හෙට අනිද්දා ය.
සමහර විට කුඩා බඩවැලේ තිබුනේ පිළිකාවක් වෙන්නටත් පුළුවන. අසාදනේ හිතුවාට වඩා පැතිරිලා තිබුනා කියන්නේ තව තව කොටස් කුඩා බඩවැලෙන් කපා ඉවත් කරන්න සිද්දවෙනවා වෙන්න පුළුවන.

ඒ කියන්නේ ඒ සේරම ඉවර වුනාම තවත් ජීවත් වෙන්න නම් මගේ මිතුරාට ඉන්න වෙන්නේ මනුස්සයෙක් හැටියට නොව පණ ගැහෙන මනුස්ස පරාණයක් විදියට ය.

තමුන් කැමති කෑමක් කන්න බැරිය.
තමුන් කැමති වැඩක් කරන්න බැරිය.
සමහරවිට ඇවිදින්න කරන්නටත් බැරිව යන්න පුළුවන.
අහාර ජීර්ණ පද්ධතිය ට තියෙන බලපෑම තව වැඩි නම් අහාර ගැනීම සහ මලපහ කිරීම කරන්න සිද්ධ වෙන්නේ බට ආධාරයෙන් වෙන්නත් පුළුවන.
තව ගොඩක් දේවල් සිද්ධ වෙන්නත් පුළුවන.

මාස දෙකක් තිස්සේ ඉස්පිරිතාලේ දුක් විඳපු මගේ මිතුරාට මේ කාරනා මේ විදියටම සිතෙන්නත් ඇත.

හිතේ තියෙන කලකිරීම එක්ක "ඇයි මොකටද මම මේ විදියට දුක් විඳගෙන ජීවත් වෙන්නේ? මම නිසා මගේ ගෙදර මිනිස්සු මොකටද තව දුක් විඳින්නේ? " කියලා සිතෙන්නත් ඇත.

ඒ නිසා කාටවත් තව දුරටත් කරදරයක් නොවෙන්න මේ කරුමක්කාර ජීවිතෙන් අයින් වෙන්න මගේ මිත්‍රයා තීරණය කරන්න ඇත.

ඉස්පිරිතාලෙන් පැනලා යාම, වීල් එකක් හයර් කරගෙන ෂෙඩ් එහෙකට ගිහින් පෙට්‍රල් ගැනීම, ගිනිතියා ගැනීම, ගිනිතියාගන්න හේතුව පොලීසියට පැහැදිලිව කීම සහ ආපහු බෙහෙත් කරන්න ලැස්ති වෙන කොට ඒ කටු බට සේරම ගලෝලා විසික් කිරීම වගේ හැම සිද්ධියෙන්ම පෙන්නේ මෙයා බොහොම හොඳ සිහියෙන් මේ සේරම කරපු බවයි.
හදිසි ආව්ගයක් නිසා පැනලා ගියානම් ග්‍රවුන්ඩ් එකට යනකම් ගතවෙච්ච විනාඩි විස්ස තිහ එයාගේ ආවේගය පාලනය වෙන්න බොහොම ප්‍රමාණවත් ය.
ඒ නිසා මේක බොහොම කල්පනා කරලා ගත්තු තීරණයක් බව මිතුරාගෙන් පැත්තෙන් හිතනකොට මට තේරුම් යන කාරනාවය.

කොහොම වුනත් දැන් සියල්ල සිද්ධ වී හමාරය.
පියෙකුට සහ මවකට පුතෙක් , අයියලා දෙන්නෙක්ට සහ අක්කෙක් ට මල්ලි ක්, මල්ලි කෙනෙක් ට අයියෙක්, අපිට සොඳුරු ලෙන්ගතු මිතුරෙක් අහිමි විය.
අපිට කල හක්කේ එක දෙයක් පමණි.

ඒ මගේ මිතුරාට ජාතිජාතිත් උපදින කිසම මතු භවයක මෙවන් විපතක් නොවේවා කියා පැතීමත්
මෙලොව කිසම කෙනෙකුට මගේ මිතුරාට වුනා වගේ දුක්ඛිත තත්ත්වයකට මුහුණ දෙන්න නොලැබේවා කියාත් ප්‍රාර්ථනා කිරීම පමණි.

=========================


බ්ලොග් මිතුරන් සේරම ටම කියන්න දෙයක් ඇත.වෙන කිසි දෙයක්ලියා ගන්න මේ වෙලාවේ මට හයියක් නොමැත.

කියෙව්වාට බොහොම ස්තුතියි.

ඔබ කිසි කෙනෙක් මා කිසදා දෑසට දැක නැති වුනත් මගේ මිතුරා වෙනුවෙන් ඉහත ප්‍රාර්ථනාව ඔබත් කරනු ඇති කියා බලාපොරොත්තු වෙමි.

==========================
පහතින් දැක්වෙන්නේ මගේ මිතුරා වෙනුවෙන් අපි බුකියේ පලකල ශෝක පණිවිඩ කීපයකි.




ඔබේ ඒ සිනහව
නැවත කිසිදා
අප නොදකිනු ඇත
ඔබේ ඒ කටහඬ
නැවත කිසිදා
අප නොඅසනු ඇත
ඔබේ ඒ ලෙන්ගතු කම
නැවත කිසිදා
අප නොලබනු ඇත
ඔබ
නැවත කිසිදා
අපට හමු නොවනු ඇත
නොසිතු මොහොතක
නොසිතු විලසට
හැර ගියත් අද ඔබ
සදහටම තනි කර
ඔබේ ඒ දයාබර
සොයුරු මිතුරැ කැළ
රැඳෙනු ඇත සැමදා
සැම හදවත් තුල
දිවි ගමන අතරමග
මොහොතකට හමු වූ
සොඳුරු මිතුරෙකු
ලෙන්ගතු සොයුරෙකු
ලෙස
ඔබේ ඒ සෙනෙහබර
ජීවිත මතක සටහන

සොයුර
අප ඉත සිතින්
පතමු ඔබ හට
නිවන් සුව !!!!


31 comments:

  1. ඔබේ මිතුරාට නිවන් සුව පතනවා, මෙවන් අවස්ථාවන් පිළිබඳව වෘත්තීය ජීවිතේදි ලද අත්දැකීම් අනුව , අපේ ජීවිත වල සිදුවන සමහර දේවල් වල “අපටම තේරුම් ගන්නට බැරි රටාවක් “ තිබෙන බව පමණයි මට කියන්නට පුළුවන්.
    මිතුරා වෙනුවෙන් , සංවේදී වූ හදවතකින් ලියූ සටහන වෙනුවෙන් ඔබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මහේෂ්, ඇත්තටම මට තාම හිතාගන්න බැහැ මොකක්ද මේ වුනේ කියලා. කටත් කරගන්න බැහැ ඇස වලට කඳුළු එනවා. උගුරුඅ හිරවෙනවා වගේ. ඒ තරමට ම මේ කොල්ලා අපිට සමීප වෙලා හිටියා..

      මගේ ඉල්ලීම ඉෂ්ට කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි...

      Delete
  2. මට මතක් වෙන්නෙ නිර්වානා කණ්ඩායමේ කර්ට් කොබෙයින්ගේ සියදිවි නසාගැනීම.
    ඔහු සංගීතයේ දෙවියෙක් වුණා. ජනප්‍රියත්වයේ උපරිමයට ආවා. ලෝකයේ හොඳම සිංදුව කීවා.
    ඒත් දෙවැනි ඇල්බමය විතරක් කරලා අවුරුදු විසිඅටේදී ඔහු සියදිවි නසාගන්නවා. ඒ ඔහු ජීවිතයේ ඊළඟ මොහොත මොනවගේ වේදැයි බිය වූ නිසා.
    විභිෂණ ඇත්තටම කණගාටුයි මිත්‍රයාගේ වෙන්වීම ගැන

    ReplyDelete
  3. Depression induced by a physical illness : ඔහුගේ මානසික තත්වය ගැනත් බලන්න තිබුනා. (2000 වසරේදී උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය මහතා ගේ වාට්ටුවේ ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන් සඳහා මානසික උපදේශනය සහ මනෝ ප්‍රතිකාරයන් ලබා දීමද මා අතින් කෙරුනි. මෙම උපදේශන සේවය නියමු වැඩ සටහනක් (Pilot Project) ලෙස එළි දැක්වීමට වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය මහතාට අවශ්‍යතාවය තිබුනද එය දිගටම ක්‍රියාත්මක නොවූයේ අපගේ වෛද්‍ය පරිපාලකයන් තමන් සිටින මානසික කොටුවෙන් ඔබ්බට සිතීමට නොහැකි අළුතින් යමක් සිතීම පාපයක් කියා සිතන නවීප්‍රකරණයට බය පිරිසක් වීම නිසාය​.

    එහෙත් රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවේ රෝගීන් ගනනාවකට ශල්‍යකර්ම වලට පෙර සහ පසු අප උපදේශනයෙන් සහ මනෝ ප්‍රතිකාර වලින් සහය වූයෙමු. මීට පෙර රජයේ රෝහල් වල උපදේශන සේවා නොවූයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය සහ මම ලංකාවේ රෝහල් පද්ධතිය තුල මුලින්ම උපදේශන සේවා ආරම්භ කල බව සිතමි. එසේම 2002 වසරේදී කොලඹ යුද හමුදා රෝහලේ ස්ථිර උපදේශන සේවාවක් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම ස්ථාපිත කලෙමි)

    ReplyDelete
    Replies
    1. මේක නැති එක නම් ලොකු අඩුවක්

      Delete
    2. මේකනම් බොහොම ලොකු අවශ්‍යතාවයක්

      Delete
  4. අධිවේගී, සමාජශීලී, කාර්යක්‍ෂම, ජීවිතයක හිටිය ඔහුට, මේ හදිසි වෙනස දරාගන්නට නොහැකිවුන බවයි පෙනෙන්නේ. තාත්තා වෙනුවට යාලුවෙක් ළඟ හිටියානම්, සමහරවිට ඔහු තමන්ගේ වේදනාව බෙදාගෙන, තවදුරටත් ජීවත් වෙන්නට ඉඩ තිබුණා.

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම හිතුනා විචා....යාළුවො ළඟ හිටියානම් මෙහෙම දෙයක් නොවෙන්න ලොකු ඉඩක් තිබුනා....

      දැන් වැඩක් නැහැ...වෙන්න ඕන දේ වුනා....

      Delete
  5. මම නම් ඉස්සර ඉඳලා දරන මතයක් තමයි දිවිනසාගැනීමටත් නිදහස තියෙන්නේ ඕන කියලා..

    ඔහු හරි... සදාකාලික ලෙඩෙක් ව්දියට ජීවත් වෙන එක පුද්ගලයාට මෙන්ම සමාජයටත් කරදරයක්... එකයි මිනිස් නිදහස අගයන් රටවල් සියදිවිනසාගැනීමට ඉඩ දෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාතා මාත් එහෙම හිතනවා....

      නිස්කාරනේ සමාජෙට, පවුලට බරක් වෙන්න ඕන නැහැ ....

      Delete
  6. හරිම සංවේදී කතාවක්.උත්තරයක් නැති ප්‍රශ්නයක් විභීෂණ ඉදිරිපත් කර ඇත.ඔහු සියදිවි නසා ගැනීම ගැන නිගමනයක් දෙන්න තරම් මම නම් මුහුකුරා ගොස් නැත.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සමරේ....

      Delete
  7. මගේ ගැන මගේ අදහස නම් අතක් පයක් කැඩිලා ජීවත් වෙන එකට වඩා මැරිලා යන එක හොඳයි කියලා...

    හ්ම්ම්ම්... මක් කරන්ටද??? ඔහොම තමයි ජීවිතය...

    "මරණයේ වේදනාව මළ වුන්ට නොව ජීවත් වී සිටින වුන්ට ය"
    වගේ එකක් කොහේදිදෝ දැකලා තිබුණා...

    ReplyDelete
  8. සිය දිවි නසා ගැනිමට නම් මම පෞද්ගලිකව එකග නෑ එහෙම උනාම දුක තමන්ගේ අයටමයි....හරිම කනගාටුයි විභියෝ මිතුරාට නිවන් සුව පතනවා!!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි...

      Delete
    2. ප්‍රතිචාරයට ස්තුතියි..

      Delete
  9. කණගාටුයි......... ඔහුට නිවන් සුව

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රාර්ථනාව විතරයි යාළුවො විදියට අපිට කරන්න පුළුවන් එකම දේ...

      Delete
  10. කණගාටු දායක සිද්දි පෙලක්. මිතුරාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට තුති...

      Delete
  11. මගේ අදහස තමයි,
    පුනරුප්පත්තිය පිලිගන්න ආගමික පරිසරයක හැදුනු අය සියදිවි නසා ගැනීමට පෙළඹෙනවා වැඩියි.
    එල්ටීටීඊ සංවිධානයට මරාගෙන මැරෙන හමුදා හදන්න සංස්කෘතික කරුණුන් හේතුවුනා. එමනිසාම දෙමලෙක්ගෙ සියදිවිනසා ගැනීමක වටිනාකම අඩුයි.
    ප්‍රභාකරන් වගේ නොසැලෙන නායකයෙක් සිංහලයන්ටත් හිටියනම් අපිටත් මරාගෙන මැරෙන හමුදා හදන්න තිබුනා.
    අනිත් අතට ඉස්පිරිතාලෙක නැවතී සිටීම වදයක්. මගේ තාත්තා අංශබාගේ හැදිලා දවස් තුනක් රෝහල් ගතකරලා තිබ්බා. (ටෙස් කරලා ඉවර වෙනකම් :) ) ඒ දවස් තුනේ පවුලේ හැමෝම ගොඩක් දුක් වින්දා.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත...අපිත් බොහොම දුක් විඳලා තියෙනවා ඉස්පිරිතාල වල යන්න ගිහින්...

      Delete
  12. ඔබේ මිතුරාට නිවන් සුව පතනවා!
    මාස දෙකක් රෝහලේ ඉන්න කලින් ඔහුට මේ තීරනේ ගන්න බැරි උනේ ඇයි.
    මම ඔහුගේ තීරනේ නිවැරැදි කියලා කියන්නේ නෑ.. මොකද මෙතෙන්දී ඔහුගේ පවුලේ අය පත් වන අසරණ කම ඒ ගෙනත් මිනිහට ටිකක් හිතන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. කිසිම කෙනෙක් හිතුවේ නැහැ මෙයාගේ සැත්කම මේ තරම් බරපතල වෙයි කියලා...

      Delete
  13. කෙනෙක් තනිකරම අනුන් මතින් යැපෙන මට්ටමට වැටුනාම මොලේ කචල් වෙනවා තමයි.පට්ටම පීඩනයක් ගොඩනැගෙනවාත් තමයි.ඒත් සියදිවිනසාගන්න ඔහුට අයිතියක් නෑ.ඔහු වෙනුවෙන් හිතන මිනිසුන් වෙනුවෙන් ඔහුට ජීවත් වන්න 'සිදුවෙනවා'.දඬුවමක් වගේ... ඒත් ඒක විඳින්න ඕනෙ.
    දෙමාපියන්,පව්ලේ හිතවතුන් එක්ක කතාබහ කරලා ඔහුගේ පීඩනය නිදහස් වන්නෙ නෑ.මිතුරන් උනත් සීමා සහිතයි.ඔහුගේ ධාරිතාවය ඉක්මවා යන්න කලින් ක්‍රමයක් හොයාගන්න උදව්වක් දීමයිවිය යුතු.සාකච්ඡා විය යුතු මාතෘකාවක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සමාජයේ සාකච්චා විය යුතුයි..

      Delete
  14. දුක හිතෙන කතාවක් ..මිතුරාට නිවන්සුව.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට සහ පැතුමට ස්තුතියි...

      Delete
  15. අදයි මේ පැත්තේ ආවෙ . ආපු ගමන් කියවන්න වුණේ බොහොම දුක හිතෙන කතාවක් . මට මතක් වුණේ මගෙ තාත්තා . ඔහුත් මේ සැත්කම කිරීමට අකමැති වුණා ඔබේ මිතුරාට නිවන්සුව පතනවා !

    ReplyDelete
    Replies
    1. මෙතුවෝ බොහොම ස්තුතියි...

      Delete

පිස්සු හැදුනද? කේන්ති ගියාද ? දුම් පිටවුනාද ? හිනා ගියාද ?
මේ ලියපු දේවල් ගැන මොනවහරි හිතුනද ?
හොඳ නරක ඕන දෙයක් .මෙතන කමෙන්ට් කරලා යනවා හොඳයි...

සුබ දවසක්..