2014-11-11

මේක 94 නෙවෙයි 2014



ඔන්න දැන් ආපහු අනූ හතරක් ඇවිල්ලලු. 

දූෂණය භීෂණය පලවා හරින්න,  රෙජිමේ ගෙදර යවන්න , යහ පාලනේ ඇති කරන්න , උණ්ඩුක පුච්චියේ වාතය සමනය කරන්න, මුත්‍රාශයේ ගල් අයින් කරන්න, අධෝමුකයේ හිල ලොකු කරන්නන වගේ මෙකී නොකී කප්පරක් දේවල් කරන්න ඔන්න දැන් ආපහු අනූ හතරක් අවිල්ලු.


ප්‍රභාකරන් කාරය කිව්වේ සිංහලයට මතක හිටින්නේ සති දෙකයි කියාලා ය. ඒ කතාව බොහෝ තැන් වලදී ඇත්ත විය. ඔප්පු විය.

ඒ හින්ද මේ අනූ හතර ගැන හීන මාවන් ඉන්න කට්ටියටත් ඒ සංකල්පය , සූත්‍රය ඇප්ලයි කරන්න විභීෂණ බිය නොවන්නේය.

මේ අලුත් අනූහතර ගැන දේශනා කරන හැමෝම ලොකු අමතක වීමකින් පෙලෙන බව විභීෂණ ට කල්පනා වෙන්නේ අනූ හතරේ මුළු රටම ( නොවුනත්) පෙළ ගැහිලා ගත්තු තීරනේ හින්ද ඇති වෙච්ච ප්‍රතිපල වල සුන්දරත්වය මේ හැමෝටම අමතක වෙලා වගේ කියල ය.

77 දී හයෙන් පහක ජනබලයකින් පත්වෙච්ච ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල විධායක ජනාධිපති ක්‍රමයක් ගෙනල්ල , ඡන්ද ක්‍රමේ කණපිට හරොල ලෑස්ති වුනේ සදාකල් යූඇන්පී ආණ්ඩුවක් තියාගන්න ය.

ඒ කරුණු තුනම කරගන්න පුළුවන් වෙච්ච හින්ද එදා තිබ්බ යූඇන්පී ආණ්ඩුව තමුන්ගේ සදාකල් හීනයේ දිගටම පිනුම් ගහන්න පටන් ගත්තේය.හැමෝම සදාකල් රජවරු විය. කරන්න පුළුවන් කුපාඩිකම් පුළු පුළුවන් විදියට කලේ ආයේ ඉතින් තමුන්ට දිගටම රාජ්‍ය බලය තියෙන හින්ද  ලොවෙත් ඒ කෙලි පත්තු වෙන එකක් නැති වෙයි කියල ය.

එදා තිබ්බ ආසන ක්‍රමේට හයෙන් පහක් වුනාට මට මතකයි කවුදෝ කියනවා දැන් තියෙන දිස්ත්‍රික්ක ක්‍රමේට ඒ ඡන්දේ තිබ්බ නම් එදා යූඇන්පී යට ලැබිල තියෙන්නේ සීයට පනහකට පොඩ්ඩක් වැඩි ඡන්ද ප්‍රමාණයක් කියල.

අසූ අටෙන් පස්සේ කට්ටියගේ තත්ත්වේ එන්න එන්නම දරුණු විය. දේශපාලකයා දේශපාලුවෙක් වෙන්න පටන් ගත්තේය. 

අද රෙජිමේ ඉන්න ලොකු ලොක්කෝ කරන කුපාඩි කම් සේරම එදා තිබ්බ යූඇන්පී රෙජිමේ ලොක්කොත් හොඳහැටි practice කලෝය.

කොහොම හරි අනූ තුන අනූ හතර වෙනකොට තමුන්ගේ හයෙන් පහක ජනබලයෙන් පත්කරගත්තු ආණ්ඩුව මිනිස්සුන්ටම එපාවෙන්න පටන් ගත්තේය. 

තමුන් ගේ පාලනය යටතේ ඉන්න මිනිස්සුන්ව සහ උන්ගේ දරු දැරියන්ව පාරවල් ගානේ ටයර් සෑය වල වල පුච්චලා දාන්න එදා තිබ්බ ආණ්ඩුව බය නැතිව ඉදිරිපත් විය.

පාරවල් ගානේ මිනී ප්‍රදර්ශනය වෙච්ච රටක් නිර්මාණය වෙන්න එදා තිබ්බ යූඇන්පී ආණ්ඩුව ඉඩ කඩ සැලැස්සුවේය. මෙහෙම කිව්වට මේ භීෂණයේ හරි අඩක වගකීම එදා තිබ්බ ජේවීපී ය සහ උන්ගේ ම වෙච්ච දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය කියල මහලොකු නමක් තියාගෙන හිටපු ගස් බල්ලන් ද භාර ගත යුතුය.

උන්ට ඕන කරන විදියට ආණ්ඩු වෙනස් කරන්න ගිහින් රට අල්ලන්න ගිහින් රිටර්න් ඉල්ලා ගත්තේ උන් විතරක් නෙවේය. කිසිම දේශපලනෙකට සම්බන්ධ නැති අහිංසක යෝ රාශියක්ද මේ තුප්පහිකම් වලට ජීවිත වලින් වන්දි ගෙව්වේය. 
මේ ඔක්කොම අස්සේ ප්‍රභාකරන් කාරය උතුරේ යුද්ධයක් ද පටන් අරන් තිබුනේය.

මේක රටක් නොව ඇවිලෙන ගිනි ගොඩක් බවට පත්වෙලා තිබුනේය.

මේ හේතු හින්ද මිනිස්සුන්ට ආණ්ඩුව එපාවිය. 

ආණ්ඩු විරෝධය තැන තැන ඇතිවෙන්න පටන් ගත්තේය. තැන තැන දුම් රොටු වගේ උඩ ගිය ආණ්ඩු විරෝධය රටම වහගත්තු කළු දුමාරයක් වුනේ  සැටලයිට්  ගේ ආගමනය ත් එක්කය. 

එයා මුලින්ම ඉර බහින පළාතේ  මහා ඇමතිකමෙන් වැඩ පටන් අරන් මාස ගානක් යන්න කලින් අගමැති කමත් අරන් ඊටත් මාස ගානකට පස්සේ විධායකේ අල්ලගන්න පුළුවන් විදියට මාකට් කලේ 94 ට කලින් තිබ්බ භීෂණය සහ තුප්පහි දේශපාලනය ය. එයා කිව්වේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගේනවා කියලය. 

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සුවර්ගෙට දොරටුවක් කියල මිනිස්සුන්ට හිතුනට සැකයක් නැත. මොකද ඒ වෙනකන් රට තිබ්බේ මිහිපිට අපායක් ගානට ය 


රාවයේ වික්ටර් අයිවන් පහු කලෙක ලියපු චෞර රැජින පොතේ මෙන්න මෙහෙම ලියල ඇත.

"මහජනයා ඇය බලයට පත් කෙළේ ජන්ම උරුමය පිලිබඳ ඇගේ  පැටිකිරිය බලා නොවේ. රටේ අගමැතිවරුන් දෙදෙනෙකුගේ දුවක් වන්නේය යන කාරණය සලකා බලා ද නොවේ. රටේ ජනප්‍රිය නළුවෙකු ගේ බිරියක වී ය යන්න හෝ නිළියක වැනි පෙනුමක් ඇති කාන්තාවක වන්නේය යන කාරණා මත ද නොවේ.එදා රටේ තිබුණු විශේෂ තත්වය යටතේ , බලයේ සිටි ආණ්ඩුව පරාජය කරමින් වඩා හොඳ දේශපාලන පරිසරයක් ඇති කරගැනීමේ අරමුණ ජයගැනීම සඳහා නායකයෙකු ලෙස ඉදිරියට ගැනීමට වෙනත් සුදුසු පුද්ගලයෙකු නොවීම නිසාය.

ඇය බලයට පත් කල ගාමක බලවේගය ලෙස ක්‍රියා කලේද බණ්ඩාරනායක පවුලේ දේශපාලන බූදලයක් බවට හරවාගෙන ඇති ශ්‍රීලනිප යට සම්බන්ධ පාක්ෂිකයන්ටත් වඩා යහපත් සමාජයක් අපේක්ෂා කල නිර්පාක්ෂික ජනයා ය . ඇය බලයට ගෙන එන ක්‍රියාවලියේ යාන්ත්‍රණය ලෙස ක්‍රියා කලේද ශ්‍රීලනිප දේශපාලන යාන්ත්‍රණය නොව විවිධ නිර්පාක්ෂික පුද්ගලයන් ගෙන් සැදුම් ලත් යාන්ත්‍රණයකි.

ඇය බලයට ආවේද දිගින් දිගට ගලා ගිය උණු ලේ වලින් තෙත බරිත වූ භූමියක් ඔස්සේය . අගේ ගමනේ ඉන්ධන ලෙස ක්‍රියා කලේ ද අතුරුදහන් වූ දරුවන් හා සැමියන් වෙනුවෙන් මවුවරුන්ගේ ද වැන්දඹුවන් ගේද ඇස්වලින් ගලා ගිය උණු කඳුළු ය ."[චෞර රැජින_පිටු අංක 08_පරිච්ඡේද 03, 04 සහ 05 ]


ඒ කියන්නේ එදා 94 දී  මිනිස්සු නිදහස, සාමය බලාපොරොත්තුවෙන් තීරණයක් ගත්ත කියන එකය. 

එත් එදා මේ භීෂණය දූෂණය නැති කරන්න පුළුවන් නායකත්වයක් යූඇන්පී ය තුල තිබුනේ නැත. තිබ්බ එකම විකල්පය චන්ද්‍රිකා විය.

නම් නොකෙරුනත් සැටලයිට් යනු එදා හිටපු එකම පොදු අපේක්ෂකයා විය.

ඒ එක්කම විධායක ජනාධිපති ක්‍රමය සැටලයිට්  ට සහ සනුහරේට ලොකු මාර්කටින් පොයින්ට් එකක් විය . අද රනිල් ල කරු ල රතන ල වගේම සැටලයිට්  ල ද දකිනවා වගේම එදත් සැටලයිට්  සහ වෙන්න රෙජිමේ විධායකය රටට පිළිලයක්, විෂබීජයක් විදියට දැක්කේය.

ජේ ආර් ගේ ඇට අට , මැතිනි  ගේ හඳේ හාල් වගේ ජනප්‍රියම ඡන්ද පොරොන්දුව ඊළඟට සැටලයිට්  දුන්නේ මේ විධායකේ මාස ගානක්ම් ඇතුලත අහෝසි කරනවා කියලය. 

පොරොන්දු වෙලා නිකන් ඉඳ පිය. ජූලි 15 ට කලින් විධායකේ අහෝසි කරන ව කියල  මැරිච්ච  ඉරක් හෙවත් DEADLINE  එකක්ද දුන්නේය.

මේගුලිය කාපු ජෙප්පෝ  ජනාධිපති ඡන්දෙන් ද ඉවත් විය. ඒ කියන්නේ ජනතාවට තිබ්බ දෙවෙනි විකල්පයද අහෝසි විය. 

ඒ එක්කම  යූඇන්පී ආණ්ඩුවේ හිටපු හොරුන්ව ගෝල්ෆේස් එකේ එල්ලනවා කියල කතාවක්ද කිව්වේය.


ඉතින් චන්ද්‍රිකා රජ විය. 
ජූලි 15 ලං විය. විධායකේ  අහෝසි නොවීය. 
ජූලි 15 අනිද්දා ට විය.විධායකේ  අහෝසි නොවීය
ජූලි 15 හෙට  විය.විධායකේ  අහෝසි නොවීය.
ජූලි 15 විය.විධායකේ  අහෝසි නොවීය


එදා ඉඳන් මේ වෙනකම්ම යූඇන්පී යේ හොරෙක් තියා පික් පොකට් කාරයෙක්ව වත් ගෝල්ෆේස් එකේ එල්ලුවේ නැත.

මේ වෙනකොට තමුන්ට ලැබිච්ච මේ පට්ටමේ රහ මේර නෝනට තේරිලා හමාර  ය. එතුමිගේ පොරොන්දු එතුමිට ම අමතක විය.

හොරු ඔක්කොම සැටලයිට්  වටා එකතු විය.සැටලයිට් හොරුන්ගේ රැජින හෙවත් පොතේ හැටියට ම චෞර රැජින විය.

අවුරුදු හය යනකොට රටට ම සැටලයිට්  එපා විය. 1999 දී අද ආඩම්බර තාත්ත  වගේම එදා සටලයිටුත්  ත් එනපොට හොඳ නැති බව තේරුම් අරගෙන කලින්ම ජනාධිපතිවරණයක් ලෑස්ති කළේය .පරදින්න හිටිය වුනත්  මොකක්දෝ වාසනාවකට පිපිරිච්ච බෝම්බයක් හින්ද ප්ලාස්ටර් වලට පින්සිද්ද වෙන්න තව හයකට වාසනාව දීර්ඝ විය.

2005 දී ආපහු ජනාධිපති කෙනෙක් තෝරන්න රටට චෑන්ස් එකක් ආවේය. 

මෙදා පොටේ සැටලයිට් ගේ වාර දෙකම ඉවර හින්ද අනුප්‍රාප්තිකයා වෙන්න හිතාගෙන ඉදිරිපත් වුනේ දැන් අපේ ආඩම්බර තාත්තා ය.


මෙතුමා මේ අපේක්ෂකත්වය ගත්තු එකත් එක්තරා විදියක සටනක් වුණු එකක් ය.
එක නිකන් බලෙන් වගේ ගත්තු එකක් කියල තමයි ඒ කාලේ මීඩියාස් වල තිබ්බේ. මොකද ඒ වෙනකොට බණ්ඩා ගේ පරම්පරාවේ ඔටුන්න හිමි කුමාරයත් හිටිය නේ.

කොහොම හරි අපේක්ෂකත්වය ගන්න ලොක්කට පුළුවන් විය.

තමන්ගේ චින්තනේ  පොතක් විදියට ගහල රට පුරා බෙදපු මෙයා කප්පරක පොරොන්දු දුන්නේය.

අනූහතරේ වගේ නොවුනත් 2005 දීත් විධායක ජනාධිපති කම ආපහු රටේ මාතෘකා අතරට රිංග ගත්තේය.

94 අහෝසි කරනවා කියපු විධායක කම අවුරුදු 11ක් තියන් හිටපු ආණ්ඩුවේම කෙනෙක් එක අහෝසි කරන්න කතා කරපු එකත් එක්තරා විදියක මොකක්දෝ එකකි.

කොහොම හරි 2001 ආපුරනිල්ගේ ආණ්ඩුව 2004 දී වට්ටන්න පාවිච්චි කරපු කැම්පේන් එක ඒ විදියටම ක්න්ටිනියු කරපු මරා සහ සමාගම රටට හරි අමුතු භයානක හීනයක් පෙන්නුවේය ය.

එයාල කියපු විදියට රනිල් රෑ දවල්නිදි නැතිව රට කොටියට සහ ඇමෙරිකාවට පාවා දෙන්න ප්ලැන් ගගහ සිටියේ ය.

යූඇන්පී ය දත කට මැදගෙන හිටියේ උතුර කොටියට ලියල දීල දකුණ ජෝජ් බුෂ් ට සින්නක්කරේට ලියල දෙන්නය.

රජය ආයතන හැම එකම විකුණන් කන්න රනිල් සහආණ්ඩුව  ප්ලැන් කරලා තිබී ඇත.

මේ භයානක චිත්රේ පෙන්නලා මෙයාල කලේමිනිස්සු දකින්න කැමති හීන ටික එකතු කරගෙන හීන පොත print කරල බෙදපු එකය.

විධායකේ අහෝසි කරනවා කියල මරා කිව්වෙත් මේ අහු අස්සේය.

එදා ඡන්දෙට ඉදිරිපත් වුණු ආඩම්බර තාත්තා ජෙප්පොන්ට කිව්වේ මේක අහෝසි කරනවා කියලය. ජෙප්පෝ ටික මේකට රැවටිලා ආඩම්බර තාත්තා ගේ වේදිකා වලත් නැගල උන්නැහැට  ට කඩේ ගියහ. හෙළ කරුමෙට  කිව්වේ මේක තියා ගන්නවා කියලය. හෙළ උරුමේත් මේකට රැවටිලා ආඩම්බර තාත්තා ගේ වේදිකා වලත් නැගල උන්නැහැට ට කඩේ ගියහ. 

බලන් ගියාම 94 සැටලයිට්  ට වඩා එතුමිගේම ගෝලයෙක් වෙච්ච ආඩම්බර තාත්තා වැඩකාරයා ය.
94 ජෙප්පොන්ට වඩා 2005 ජෙප්පෝ මැටි හරක් ය.

ඡන්දේ දීපු අපි ගැන ඉතින් මුකුත් කියන්න ඕන නැහැනේ..

එදා එහෙම කියල විධායකේ අල්ල ගත්තු සාටක සාමාගම 2010 දීත් තමන් අහෝසි කරන්න පොරොන්දු වෙච්ච විධායකේ ආපහු ඉල්ලලා ඡන්දේ ට ඉදිරිපත් විය . 

එදා නම් මාකට් කලේ වෙන මොකක්වත් නොව යුද්ධෙ දිනපු එකය.

මිනිස්සුන්ට විධායකේ ප්‍රශ්න අමතක වෙලා ගම්මිරිස් කොලේට කතිරේ ගැස්සිණි. 

ඒ මොනවා වුනත් 2010 පත්වෙච්ච ආණ්ඩුව කලින් එකට වඩා ටිකක් වෙනස් එකක් ය.

2010 න පස්සේ ඉල්ලන්කාව පාලනය  කලේ 2004 දී පත්වෙච්ච මහා ජාති මාමක දේශප්‍රේමී ආණ්ඩුව නොවය.

හිටියේ ඒ මිනිස්සුම වුනත් වැඩ කලේ උන් නෙමේ ය.

2010 ඉඳන් රට පාලනය කලේ කම්බා හොරු සැට් එකක් ය. මහා එකාගේ ඉඳන් පොඩි එකා දක්වා කලේ හොරකමය.

සමහරු හරකම් කරපු කෝටි ගාන මත රැකෝඩ් තියන අතර තව සමහරු රේප් කරපු ගැනු සංඛ්‍යාව මත රැකෝඩ් තිබ්බේය. 

එහෙව් රේප් රැකෝඩ් තියපු එවුන් තියන සෙන්චරි පාටි වලට විල මැද බංගලාවේ ලොකු පිනා ද සහභාගී විය.

පාරේ රඹුටන් වික්ක වෙළෙන්දාගෙන් පවා පළාතේ දේශපාලන ලොක්කට කප්පමක් දෙන්න ඕන තරමට මේ ජනතාවාදී ආණ්ඩුව වැඩ කටයුතු කළේය. 

එත් සැටලයිට් රනිල් ගේ ආණ්ඩුවේ ඇමති කම් තුනක් අරගන්න පාවිච්චි කරපු ඒ විධායක බලතල අපේ මරා මාමා මේ වගේ කම්බා හොරුන්ගේ මන්තිරි පට්ටම් ඇමති පට්ටම් ගැලවීමට පාවිච්චි කලේ නැත.

විධායකේ ගැන විභීෂණ ට වගේම කලඳක් තරම් මොලයක් තියෙන හැමෝටම සාධාරණ කේන්තියක් එන්නේ ඒ වගේ අවස්ථාවල ය.

අඩු ගානේ තමන්ගේ ආණ්ඩුවේ ඉන්න හොරු, කුඩු කාරයෝ, දූෂකයෝ දහ දෙනෙක්ගේ පට්ටම් ගලවන්න ඔය කියන අහවල් විධායකේ බලතල පාවිච්චි කලානම් අපේ ආඩම්බර තාත්ත ට තමුන්ගේ කලදසාව ගැන බයක් වෙන්න දෙයක් නැත . 

එත් ඉතින් පුළුවන් කම තියෙද්දී එහෙම දෙයක් නොකරපු හින්ද දැන් තමුනුත් චෞර රජෙක් වෙලා කියල උන්නැහ ටම හිතෙනවා වෙන්න පුළුවන. 

ළඟදීම කෙළවෙන බව දැනෙන වා වෙන්නද පුළුවන. ඒ හින්දා 99 දී සැටලයි කළා වගේ දැන් මෙතුමාත් හදිස්සියේ ජනාධිපති ඡන්දයක් ගෙනත් තියෙන්නේ පහු වෙලා කොහු කරගන්නවා ට වඩා පුළුවන් කාලේ පුළුවන් දෙයක් කරගන්නට විය යුතුය.



මේ එක පෙලට විභීෂණ කියාගෙන ගියේ 94 ඉඳන් ඉල්ලන්කාව යටත් කරන හිටපු ලොක්කියෙක් සහ ලොක්කෙක් විධායක ජනාධිපති කම කියන බිල්ල විකුණා විකුණා ඡන්දේ අරන් ඒ බිල්ල ව ගෙදර නොයවා තමන්ගේ බලේ තර කර ගන්න ඒ බිල්ල ව පාවිච්චි කරපු හැටිය.

තාමත් බිල්ලෙක් කියල හඳුන්වන විධායක ය රට පාලනය කරන්නේය.

එක අහෝසි කරනවා කියල පොරොන්දු  දීපු ලොක්ක තුන්වෙනි පාරටත්  එකම ලබා ගන්න ඡන්දයක් ඉල්ලන්න ලෑස්තිය.

ඒ එක්කම තියෙන අනිත් විහිලුව වෙන්නේ ඊට කලින් ඒ කියන්නේ 94 දී එක අහෝසි කරනවා කියල කියපු සහ අහෝසි නොකර කරන්න පුළුවන් සේරම ජල්තර වැඩ කරපු ලොක්කි දැන් එක අහෝසි කරන්න ලැස්ති වෙලා ඉන්න එකය ය. එයා එදා ඉඳන් විධායකෙට විරුද්ධ වෙච්ච උදවිය එක්ක එක පෙලට හිටගෙනය.

රනිල් සහ යූඇන්පී යද තමුන් ගෙනාපු විධායකෙන් අවුරුදු විස්සක් තිස්සේ සැටලයිට් ගෙන් සහ මරා ගෙන් බඩ කට පුරා  සංග්‍රහ ලබා තිබීම නිසා විධායකේ අහෝසි කරන්න එකතු වෙලාය.

ජෙප්පොද දෙපාරක් මේක අහෝසි කරන්න එක එකාගේ පොරොන්දු වලට රැවටිලා දැන් ආයෙත් එක අහෝසිකරන පෙරමුණට එකතු වෙලාය.

හැමෝම විධායක ජනාධිපති කම අහෝසි කරන්න පාරම් බෑවට එක හම්බවුනයින් පස්සේ ලොවෙත් එක අතහරින්නේ නම් නැත. සීනි බෝතලේට ඇදෙන ඇඹලය වගේ ඒකටම රහ වැටී ඒ මත්තෙම නහෙන්නේය.

එච්චරට මේක රහ වැටෙන්න හේතුව මේ පට්ටම රටේ හැමදේටම උඩින් ඒ කියන්නේ නීතියටත් උඩින් තියෙන හින්දය.

මේකට එන එකාට ලෝකේ මොකාටත් වඩා නිදහසක් ලැබෙන්නේය. ඒ තමන් කැමති ඕනෑම දෙයක් ඇත්ත වශයෙන්ම ඕනෑම දෙයක් කරන්න ලැබෙන මාර නිදහසක්ය. බලයක් ය.

මේකට පත්වෙනා කෙනා කරන කිසිම් වැරද්දකට විරුද්ධව උසාවි යන්න බැරිය. ඊටත් වඩා ලස්සන් වැඩේ ජනාධිපති පට්ටමෙන් අයින් වුනාට පස්සෙවත් කරපු කියපු දේවල් වලට විරුද්ධව නඩු දාන බැරි කමය.

ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක හතර මහා නිධානේටත් එහා ගිය චාන්ස් එකක් ය.ඉතින් එහෙව් නිධානයක් අත්හරින්න අහෝසි කරන්න කවුද කැමති වෙන්නේ.

සැටලයිට් වගේම මරා ත් ඒ බව ප්‍රයෝගිකවම ඔප්පු කළේය.

එහින්ද මේක අහෝසි කරන්න එදා වගේම අදත් වේදිකා හොල්ලන අය ව අන්ධයෝ වගේ විශ්වාස කල යුතු නැත.

දැන් පොදු විපක්ෂේ කියන විදියට පොදු අපේක්ෂකයා ඇවිත් මුලින්ම කරන්නේ මේ විධායක ජනාධිපතිකම අහෝසි කරන එකය.

පොදු අපේක්ෂයක කියන ලේබල් එක නැතිව වුනත් එදා94 දී සැටලයිට් කිව්වෙත් වේ කතාව මය.එත් වුනේ වෙන දෙයක් ය. 

2005 දී මරා කීවෙත් ඒ කතාවමය. වුනේ වෙන් දෙයක් ය.

කරූ තියා සෝභිත සාදු වුනත්  මේකට පත්වුනොත් කරන කියන දේවල් ගැන විශ්වාස තබා ගැනීමට බැරිය.


ඒ හින්ද අපි නිකන් අන්ධයෝ ගොළුවෝ වගේ ඉඳල 2015 ජනාධිපති ඡන්දෙන් ඔය කියන පොදු අපේක්ෂකයා දිනුව න් පස්සේ එය ඇවිත් ඕක අහෝසි කරනකන් හිටියොත් නම් වෙන්නේ  විභීෂණ අර මුලින් කියල තියෙනවා වගේ රෑ  වැටුණු වලේ දවල් ගිහින් පනිනවා වගේ වැඩක් ය.

එහෙම වුනොත් කට්ටිය බලාපොරොත්තු වෙනවා වගේම 94 ක් නම් ආපහු එන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩිය.

එහෙනම් පොදු විපක්ෂය දැන් කරන්න ඕන මේ රෙජිමේ පලවා හරිනා වැඩ කරන ගමන් තමුන්ගේ අපේක්ෂකයා ඔය ජනාධිපති පුටුවේ වාඩි වුනොත් එයාට විධායක ජනාධිපති  කම අහෝසි නොකර ඉන්න බැරි විදියේ මොකක් හරි ක්‍රමවේදයක් හදා ගන්න එකය. 

එකනම් අත්‍යාවශ්‍ය ය.

එහෙම නොකර අපේ පොදු අපේක්ෂකයා ව පත් කර ගෙන එදා අපේ ආඩම්බර තාත්තා  සිරිපති ට , අනුර ට මංගල ට කළා වගේ , මෙදා කරූ හරි සෝභිත හරි ඔය පට්ටම අරන් රනිල් ටයි සැටලයිට් ට ගේම දුන්නොත් , ජෙප්පොන්ව තහනම් කලොත් ආයේ කාට කියන්නද.

අපිට වෙන්නේ කට පුක වසාගෙන නිවන් සැප ලබන්න ය.

ඒ හින්ද මේ ගෙනියන වැඩේ එච්චර සරල සුන්දර නැත. බල තන්හාව මිනිසා ගේ ආරම්භයේ ඉඳන් තියෙන දෙයක් හින්දා මේ මිනිස්සුන්ට විතරක් බැනල වැඩක් නැත.

කරන්න ඕන රටට ගැලපෙන විදියට බලය හදා ගන්න එක ය. 

විධායක ජනාධිපති කම වුනත් අධිකරණයට යටත් කරලා සංශෝධනය කරගන්න පුළුවන් නම් ගොඩක් වටින්නේය. එතකොට ඒ පුටුවේ අයිතිකාරයට රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන්  බොරුවට නොව ඇත්ත ටම වග කියන්න සිද්ධ වෙන්නේය. දෙපාරකට වඩා කිසිම හේතුවක් මත ජනාධිපති කමට ඉල්ලන්න බැරි වෙන්න ආපහු නීති හැදිය යුතුමය.

මේක 94ක් නොව 2014 ක් බවට පත්කර ගත යුතුමය.

අන්න එහෙම වෙච්ච දාට ජනාධිපති කම  රටට බරක් නොව සම්පතක් වන්නේය. 


අර රෑ වැටුණු වලේ දවල් ගිහින් පනිනවා  කියල ලියනකොට පොඩි සින්දුවක් මතක් වුනා.

ඩේටා තියේ නම් සහ වෙලාවක් තියේ නම් බලලම යන්න . 


එහෙනම්...

අදට ඇති..

ගොහින් එන්නම්..

සුබ දවසක්...

29 comments:

  1. කවුරු කොහොම ආවත් ඕක වෙනස් කරනවනම් බොරු.. මේකත් හරියට අර ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ මුද්ද වගේ තමයි.. අතට ගන්න එකා විසි කරන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත මචන්. දැන් අපි තුන් පාරක්ම FRODO BAGGINS කෙනෙක් කියල හිතාගෙන විශ්වාස කරලා තියෙන්නේ SAURON ගේ නෑදැයෝ දෙන්නෙක්ව .

      ඔන්න දැන් තවත් FRODO BAGGINS ල කරලියට ඇවිත්. ඇත්ත FRODO ව හොයාගන්න එක මිනිස්සුන්ට වගේම පොදු විපක්ෂේටත් තාමත් ලොකු අභියෝගයක්.

      උඹේ කමෙන්ට් එකට සහ උදාහරණෙට බොහොම තැනක් යූ.

      Delete
    2. ගොලම්ල මුද්දට මයි ප්‍රෙශස් කියනව බලයට ඇඩික්ට්වෙලා. ඡන්දදායකයො ගොලම්ලට මයි ප්‍රෙශස් කියනව රැවටීමට ඇඩික්ට්වෙලා

      Delete
  2. කියන්නට දේවල් නම් එනවා කටට.... මොකටද මගේ කට!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඇත්ත. මොකට නේද බන් උඹේ ඔය කට...???

      Delete
  3. //එදා ඉඳන් මේ වෙනකම්ම යූඇන්පී යේ හොරෙක් තියා පික් පොකට් කාරයෙක්ව වත් ගෝල්ෆේස් එකේ එල්ලුවේ නැත//
    කොහොමෙයි මහත්තයො එල්ලන්නේ? එයාගෙම කැබිනෙට්ටුවෙන් තුන් කාලක් හිස් වේවිනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ඇත්ත..රට වෙනුවෙන් කැබිනෙට් එකක් තියෙන්නත් එපැය..

      එතනෝල් ජොනී ලා, කැසිනෝ ලකී ල, බඩු කෙහෙළිය ල වගේ ය නැතිව කොහොමද බන් මේ අමුතු ඇටේ රන් කරන්නේ...

      Delete
  4. ආයි එන්නේ 89 කාලයක්..

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් බන්...මේ යන විදියට ...

      Delete
  5. ඉතිහාසය හදාරලා කාල වකවානු දාලා ලියන්න තියෙන හැකියාව සුපර්. පොඩි මාතා...:D
    ජේ.ආර්. සමානුපාත කෙරමෙ ගෙනාවෙ අමිර්තලිංගම්ලා ප්‍රධාන විපක්ෂය වුණු නිසාය කියලා අහලා තියෙනවා. අනේ මඤ්ඤා.
    විකියා කියන විදිහට වියවස්තාව මෙන්න මෙහෙමලු.
    ලංකාව - Unitary semi-presidential constitutional republic
    අමෙරිකාව - Federal presidential constitutional republic

    ReplyDelete
    Replies
    1. විකිය ඔහොම නෙවේ ඔලුවෙන් හිටන් කිව්වත් මෙහෙ තියෙන්නේ ඒකාධිපති රෙජිමක්.

      Delete
  6. මං ඊයෙ ඔටුවගෙ බොගේ කියපු එකමයි කිටයන්න තියෙන්නෙ විභියො
    එළදෙනුන්නෙන් කිර ගන්න ඕනනං උන්ට කන්න දෙන්න එපැයි එක්කො පුනක්කු එක්කො තණකොල ඒත් මෙතන දෙක වෙන වෙනම දෙන එක නෙවී එකට මික්ස් කරල දෙන එකයි කරන්නෙ එතකොට ටක් ගාල ඇමට අහුවෙනව නෙව...
    ආයෙ වෙන මොන සෙද්ද්ද

    ReplyDelete
    Replies
    1. මෙන මොන කතාද ...පොඩි එකෙක් උඩ දාපුවම, පපුවට ගහගත්තා ම, සාරි පොටින් කඳුළු පිහිදාපුවම ඡන්ද ගංගා ගලන්නේ බන්..

      Delete
  7. එකඟ-නොවන තැන් බොහොමයි. උපතින්ම පක්ෂයක් බදානොගත්ත පවුලක කෙනෙක් විදියට මාත් ඡන්දය පාවිච්චි කරන්නෙ සාධාරණත්වය වෙනුවෙන්. එතනදි මගේ මතය ටිකක් විතර ජවිපෙ මතයත් එක්ක පෑහෙනව. (ජෙප්පන්ගෙ සමාජවාදී බහුබූත නෙවේ මේ කියන්නෙ). ඒ නිසා පොඩි නිවැරදි කිරීම් ටිකක් තියනව කරන්න.

    94දිත් 2005දිත් සැටලයිට්ටත් මහින්දටත් ඡන්දය දෙන්න හොඳ හේතු අපි වගේ බුවාලට තිබුන. 94දි අවශ්‍ය වුනේ වෙනසක්. ඊට අමතරව අලු මතින් නැඟිට්ට ජවිපෙට ඒ වගේ පොරොන්දුවක් අරගෙන හරි ඡන්දයෙන් ඉවත්වෙන්න උවමනාව තිබුන කියලයි මට හිතෙන්නෙ. ඒකෙ අවුලකුත් නෑ. ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවට වැඩිය වඩා හොඳ අපේක්ෂකයෙකු වෙනුවෙන් සහයෝගය දැක්වීම හොඳ බව මගෙත් අදහස.
    2005දි තිබුන තත්වය අමුතුවෙන් කියන්න ඕන නෑ මං හිතන්නෙ. මාත් දුන්න රනිලට විරුද්ධව. ඒක ගැන අදත් අසන්තෝෂයක් නං නෑ සතුටක් මිසක්. මහින්දගෙ කාර්යභාරය 2010 වනවිට අවසන් වෙලා තිබුන. ඉතිං ඊට පස්සෙ විරුද්ධවාදියට ඡන්දය දෙනව ඇරෙන්න වෙන මොනව කරන්නද!

    ඒ ගැන ඒ ඇති!
    විධායකයට පත්වූවන්ගේ කඩවුන පොරොන්දු නිසා බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය තමයි "පොදු අපේක්ෂකය දිනුවොත් මේක අත්හරින්නෙ නැතිව දිගටම ඉඳීවිද" කියන කාරණාව. මට දෙන්න තියන උත්තරේ මේකයි.
    විධායක ක්‍රමය අහෝසි කිරීමේ මුල් පොරොන්දුව ගත්තෙ-දුන්නෙ ජවිපෙ චන්ද්‍රිකා 94දි. ඒ වෙද්දි විධායක‍ය අහෝසි කිරීම කියන්නෙ වැදගැම්මකට ඇති දෙයක් කියල කවුරුත් හිතුවෙ නෑ. නමුත් එදා සිට මේ දක්වා කාලය ගත්තොත් විධායක ක්‍රමය අහෝසි කලයුතුයි කියන පිරිස සෑහෙන්න වැඩිවෙලා තියනව. කොටින්ම 2010 ෆොන්සේකගෙ මූලික පොරොන්දුවක් බවට පත්වීමෙනුත් මෙදා අපේක්ෂකයා එන්නේම ඒ සඳහා යයි කීම ම මේ ගැන තියන වැදගත්කම පෙන්වන්නක් නොවේද? මහින්ද රාජපක්ෂත් විධායකය අහෝසි කිරීම ගැන කතා කරන්නෙ මේ වෙනස දැනෙන නිසා.
    අලුතෙන් කෙනෙක් පත්වුනොත් එයාට එරෙහිව කලහැකි බලපෑම වැඩියි. එයා එහෙම නොකලොත් මේ යන විදියට තනතුරේ ඉන්න බැරි තත්වයක් ඇතිවෙන්නත් පුළුවවන්.(මම කියන්නෙ බලතල කප්පාදුවේ සිට මුළුමනින්ම අහෝසි කිරීම දක්වා ඕන දෙයක්).

    ඒ නිසා "පොරොන්දු ඉටුකරයිද?" කියල ප්‍රශ්න අහන අයට කියන්න තියෙන්නෙ ෂුවර් නැත්තං ආයෙත් මහින්දටම දීල බලන්න. අපි පෙනී සිටින්නෙ අහෝසි කරන්නා වෙනුවෙන්. මේ සැරේ බැරි නං ඊලඟ සැරේ ට්‍රයි කරනව.

    ReplyDelete
    Replies
    1. දැන් කී පාරක් අපි ට්‍රයි කලා ද බන්...

      හැමදාම එකම සින්දුව නේ ප්ලේ වෙන්නේ රීමික්ස් වෙවී..

      Delete
  8. බොක්කේ බිජු හංගාගන්නේ නැති. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් නැති, අය හොයාගන්න පුළුවන්. ඉස්සර වෙලාම තමන් තමන්ට අවංක වුනොත් පලවෙනි පර්සි රජ්ජුරුවන්ව ගෙදර යවන එක මහ කජ්ජක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න එක නම් ඇත්ත විචාරක මහත්තයෝ.

      මේ යහපාලනය , අරක මේක වෙනුවෙන් ඉස්සරහට එන එවුන් ගේ තාම හරි හමන් සමගියක් නැහැ.

      හැමෝම වගේ බලන්නේ ඊළඟ ඡන්දේ කොහොමද ගොඩ දා ගන්නේ කියල.

      ඉතින් උන් ඔක්කොම කරන්නේ උගුරට හොරා බෙහෙත් කන එක.

      Delete
  9. අනේ මංද මචං. මේ වගේ ඒකාධිපතියො ආවම අධිකරණයෙන් වත් වැඩක් තියෙයිද. න් ආවම ඒ හැම එකම වෙනස් කරනවා. සල්ලි වලට විපක්ෂෙන් මිනිස්සු අරන් බහුතර බලය හදාගන්නවා. රටක පාර්ලිමේන්තුවක බහුතර බලය කොහොමත් තියෙන්නෙ ආණ්ඩුවේ. මේ දේශප්ලාලන ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පුර්‍රණයෙන් වෙනස් වෙන්න ඕනි බං. ඒකට රටට ආදරේ, ආත්ම තෘප්තියවෙනුවෙන්, ගරු වෘත්තියක් විදියට දේශපාලනය කරන පිරිසක් එක් වරකට හරි පත්වෙන්නෝනි.

    ReplyDelete
    Replies
    1. රටට ආදරේ, ආත්ම තෘප්තියවෙනුවෙන්, ගරු වෘත්තියක් විදියට දේශපාලනය කරන පිරිසක් හොයා ගන්න එක තමයි බන් අමාරු.

      එහෙම ආපු එවුනුත් කලේ අර ජොහොර මඩ වලට පැනපු එක තමයි.

      Delete
  10. මගේ ඔලුවට එන්නෙම 1982 ජනමත විචාරනය. ඒ නිසා සම්පූර්ණ එකඟතා, අර කතා, මේ කතා මොහොතකට අමතක කරලා මරාව පරද්දන්න ඕන. නැත්නම් මරා මහ මැතිවරනයකට යන්නේ නැහැ. ජනමත කෙලියට ගිහින් මේ බලය දික්කර ගන්නවා. ඒ අනතුර වටහාගන්න, තව කාලයකට මැතිවරන සිතියම හකුලනවා පප්පා කරා වගේ. එදාට මොකද කරන්නේ. දැන් කලයුත්තේ කකුලෙන් ඇදීම නොව ඉදිරියට තල්ලු කිරීමය.

    ReplyDelete
    Replies
    1. මචන්.
      මරා ව පරද්දන එක අනිවාර්යයි .
      එකේ කිසි කතාවක් නැහැ.
      මෙතනදී මම ඒ කාර්යය කිසිම විදියකින් විවේචනය කලේ නැහැ.

      මම කියන්න උත්සහ කරන්නේ මරා ව පරද්දල පත්වෙන කෙනා ට විධායකේ අහෝසි කරන්න හරි සංශෝධනය කරන්න හරි කිසිම බලපෑමක් තිබ්බේ නැත්නම් එයත් මරා වගේම හරි ඊටත් එහා ගිය චරිතයක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි.

      පප්පා ගෙනාපු විධායකේ රජ කරපු සැටලයිට් අන්තිමේදී පප්පා වත් අභිභවා ගියා.

      ඊට පස්සේ පත්වෙච්ච මරා පප්පා වයි සැටලයිට් වයි දෙන්නවම අභිබවා ගියා.

      ඒ සිද්ධිය ආපහු වෙන්න දෙන්න බැහැ. එහෙම නොවුනොත් ආපහු අපිට එකතු වෙලා රැස්වීම් තියල අපිම පත්කරගත්තු නායකයාව අයින් කරන්න මහන්සි වෙන්න වෙනවා.

      හැබැයි එදා ට මීට වඩා වැඩේ භයානක වෙන එක නම් ඒකාන්තයි.

      Delete
    2. එතකොට රට ආයෙත් 88-89 වගේ වෙයි. මෙිසයක දෙපැත්තේවාඩිවෙලා රැස්වීම් තියන්න හම්බෙන්නැතිවෙයි. අන්න එදාට විභීට තේරෙයි එදා ජවිපෙට උනෙත් මේකම තමයි කියලා.

      Delete
    3. එක ඇත්ත මනොෂ්.

      මේ ක්‍රමය ට මරා පැරදිලා පත්වෙන කෙනා ත් විධායකේ මේ විදියටම ගෙනිච්චොත් අනිවාර්යයෙන්ම 88-89 , 71 වගේ වෙනවා . එක වලක්වන්න බැහැ.

      ජවිපෙට වුනෙත් මේකම තමයි. එකේ සැකයක් නැහැ. ඒ වගේම තමයි LTTE එකටත් වුනේ මේකමයි.
      පිටතට පෙන දේවල් වෙනස් වුනත් දෙගොල්ලොගෙම නැගිටීමට මුල එකම කාරණාවක් කියා තමයි මට හිතෙන්නේ.

      දෙගොල්ලොම ත්‍රස්තවාදය පැත්තට යොමුවුණේ තමන් ගාව තියෙන ප්‍රශ්නෙට ලැබෙන්න තියෙන විසඳුම මොකක්ද කියල හරි අවබෝධයක් නොතිබ්බ නිසය්.

      ඒ හින්ද රටේ අපි හැමෝගෙම වගකීම ඒ වගේ කාලයක් ආපහු ඇතිවෙන්න ඉඩ නොදෙන එක .






      Delete
    4. ඒක හරි මචං. ඒ හැම දේකටම මූලය තියෙන්නෙ එකම තැනක එකම හේතුවක. පාලකයන්ගෙ වගකීම රට ඒ වගේ තැනකට යළිත් තල්ලු නොකිරීම. 83දිත් උනේ එක් මිනිහෙකුගේ පැවැත්ම වෙනුවෙන් ගත් කුහක ඒකාධිපති තීරණයක් නිසා තරුණ ජිව්විත දාස් ගනනක් බිලිවුනා. සිංහල දෙමල ජාතීන් අතර කවුරු කොහොම නෑ කිව්වත් නොනිමෙන අලුයට ගිනි පුපුරක් ඇතිවුනා.

      Delete
  11. විභීෂණ ඇත්තම කිව්වොත් මට නම් දේශපාලන කතා අරහං ... ඔය ඉන්න හැම පක්ෂෙම කෙනාම බොරුනේ කියන්නෙ.කවුරුවත්ම සාධාරණ කියල හිතෙන්නේ නෑ. එනිසා දේශපාලනයෙ මොන මොන මරාගැනීම් වෙනවද කියල වත් මම දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හන්සියෝ ඇත්ත.

      මේ රට ඇතුලේ දේශපාලනය කියල හඳුන්වල තියෙන්නේ ඇත්ත දේශපාලනය නෙවයි කියල තමයි මට හිතෙන්නේ.

      මේක දේශපාළුවක්.

      කරුමේ කියන්නේ අපේ කතිරෙන් උද ගියපු එවුන් මේ රටේ තියෙන හැම දේම ඇතුලට මේ දේශපාලුව රින්ගවල.

      මොන දේ බැලුවත් , කොතන බැලුවත් දේශපාලනය විසින් ඒ තැන් වනසල.
      ආගම ධර්මය වුනත් එහෙම තමයි.

      අපි කොච්චර අකමැති වුනත් අපේ කටින් සංස්කෘතිය, කලාව, ආගම වගේ දේවල් ගැන නැතිව දේශපාලනේ පිටවෙන්නේ , කතා බහ කෙරෙන්නනේ, බොග් පොස්ට් ලියවෙන්නේ අපි වටේට කළු දුමාරයක් වගේ මේ දේශපාලනේ පැතිරිලා තියෙන හින්ද වෙන්න ඕන.

      හන්සිගේ අදහස මොකක්ද?

      Delete
  12. අන්න නියම වචනෙ ... දේශපාළුව ...ඔය දේශපාළුව ඇත්තටම මහ විහිළුවක් ..ලෝකෙට ,මිනිස්සුන්ට පේන්න ගිරිය කඩාගෙන මයික් එක පුපුරන්න කෑගහල බේගල් කියනව නැත්නම් අනෙක් පක්ෂෙකට බනිනව ඒ බැනපු කටින්ම ඒ පක්ෂේ දිනපු දාක අතිශය ගුණ කියනව.මැරුණත් පාට වෙනස් කරන්නෑ කියන සම හරක් ඡන්ද කාලෙදි පක්ෂෙන් පක්ෂෙට බට්ටෝ පැනල ..අනේ මන්ද මේ ඔක්කොම අතිශය ප්‍රාථමිකයි. ඔන්න ඔය වෙලාවට තමයි වැරදිලා ඒ මිනිස්සුන්ට ඡන්දෙ දුන්න එක ගැන හිත හිත ඉවසගන්න බැරිව අපි අපිටම වෙඩිතියාගන්න හිතෙන්නෙ.ආයේ ඊළඟ ඡන්දෙ ට මොකෙක්ට වත් දෙන්නේ නෑ කියල හිතන් ඉන්නෙ .... දුක කියන්නෙ ඔය දේශපාළුවෝ සහ දේශපාළු සමාගම් සියල්ල දුම් ගහල වත් යවාගන්න බැරි එක ... පැතිරිලා .... හැමතැනටම උඩුදුවල ...

    ReplyDelete
  13. ඔහොම තමා දෙවියනේ දේශපාලනෙනේ :v

    ReplyDelete

කමෙන්ට් කලාපය....